‘රටම එකට’ ජාතික මෙහෙයුම ඇරඹි කාල සීමාව තුළ ගෙවුණු දින 312කදී සිදු කරන ලද මෙහෙයුම්වලින් මත්ද්රව්ය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 269,492 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි.
ජන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල වාර්තාවලට අනුව රටේ සමස්ත ජනගහනය වන 21,781,800 ට සාපේක්ෂව සැසඳීමේදී, මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති පිරිස ප්රතිශතයක් ලෙස සියයට 1.23කි. රටේ සමස්ත ජනගහනයෙන් අවුරුදු 15ට අඩු ජනගහනය ලක්ෂ 45ක් වන අතර, එම පිරිස ඉවත් කළ පසු මත්ද්රව්ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ අනුපාතය සියයට 1.5ක් ලෙස දැක්වේ.
මෙම මෙහෙයුම් ආරම්භ කළ දින සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත මත්ද්රව්ය ප්රමාණය ටොන් 20කට ආසන්න බව වාර්තා වේ. ඒ අතරට හෙරොයින් ටොන් 2කට අධික ප්රමාණයක්, අයිස් ටොන් 3කට අධික ප්රමාණයක්, කුෂ් ටොන් 1කට අධික ප්රමාණයක්, ගංජා ටොන් 9කට අධික ප්රමාණයක් සහ මදනමෝදක ටොන් 1කට අධික ප්රමාණයක් ඇතුළත් වන අතර, කොකේන්, හෂීෂ්, මාවා වැනි අනෙකුත් මත්ද්රව්ය සමඟ මත් කරල් ලක්ෂ 45කට ආසන්න ප්රමාණයක් ද මේ කාලය තුළ සොයාගෙන තිබේ.