සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit – GCFSS) සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (31) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් භූතානය බලා පිටත්ව ගියාය.

සැප්තැම්බර් 1 වැනි දින භූතානයේදී පැවැත්වෙන මෙම සමුළුවෙහි සමාරම්භක පූර්ණ සැසියට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක්වීමට නියමිත අතර, එහිදී “අර්බුදවලට මුහුණ දීම සඳහා සවිඥානිකව නැඟී සිටීම” (Rising to the Moment: Igniting Consciousness to Address the Polycrisis) යන තේමාව යටතේ ඇය විසින් ප්‍රධාන දේශනය පවත්වනු ඇත.

මෙම සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරිය ජාත්‍යන්තර නායකයින් සහ නියෝජිතයින් සමඟ සාකච්ඡාවලට එක්වීමට නියමිත අතර, තිරසර ආහාර පද්ධති, ආහාර සුරක්ෂිතතාව සහ ප්‍රජා දායකත්වය උදෙසා වන සහයෝගීතාව ශක්තිමත් කරගැනීම පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.