ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට 2022 වසරට පෙර පැවති මට්ටමට ළඟා වී ඇති බව නිල දත්ත මගින් සනාථ වී තිබේ. 2022 වසරේදී ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ ද, ඉතා කෙටි කාලයක් තුළ එවැනි බරපතළ අර්බුදයකින් මිදී වේගයෙන් යථා තත්ත්වයට පත් වූ ලොව එකම රට ශ්‍රී ලංකාව බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ආර්ථික දේහයේ රෝග නිධානය සොයා ගොස් ඊට නිසි පිළියම් යෙදීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග මෙලෙස ආර්ථිකය වේගයෙන් ස්ථාවර වීමට හේතු වී තිබේ. එහි කැපී පෙනෙන ප්‍රතිඵලයක් ලෙස, 2025 වසරේ මුල් මාස 5 තුළ රුපියල් බිලියන 236ක් ලෙස සටහන් වූ සමස්ත අයවැය හිඟය, මේ වසරේ මුල් මාස 5 තුළ රුපියල් බිලියන 197ක අයවැය අතිරික්තයක් දක්වා වර්ධනය කර ගැනීමට රජය සමත්ව ඇත. මෙය පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 433ක රාජ්‍ය ආදායමේ දැවැන්ත වර්ධනයක් ලෙස සැලකේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, මෙම දත්තයන්ට අනුව ඕනෑම ආර්ථික අභියෝගයකට මුහුණ දිය හැකි ශක්තිමත් ස්ථාවරත්වයක් මේ වන විට රට තුළ ගොඩනැගෙමින් පවතින බවයි. බිඳ වැටුණු ආර්ථිකය යථා තත්ත්වයට පත් කරමින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය විධිමත් කිරීම හරහා ශ්‍රී ලංකාව නව ආර්ථික ගමනකට අවතීර්ණ වී ඇති බව දත්ත මගින් තවදුරටත් තහවුරු වේ.