මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරි පනත මෙම වසර අවසානයේ හෝ ලබන වසර මුලදී පාර්ලිමේන්තුවේ සම්මත කර, එම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ සියලු බලතල එම අධිකාරියට ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 2023 වසරේ බණ්ඩාරවෙල පූනාගල කබරගල කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා ඉදිකළ ‘නවෝදයාපුරම්’ නිවාස යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර සහිතව පිහිටුවනු ලබන මෙම අධිකාරිය මගින් මධ්‍ය කඳුකරයේ සිදුවන විනාශයන් නතර කිරීමට පියවර ගන්නා බව ඔහු පැවසීය. “මධ්‍යම කඳුකරය ශ්‍රී ලංකාවේ හදවතයි. එය අපේ ඇස් ඉදිරිපිටම විනාශ වෙමින් පවතිනවා. කඳු කඩා වැටීම්, උල්පත් සිඳීම් සහ ගංගා ඇළවේලි ගොඩවීම් අප දැක තිබෙනවා,” යැයි පවසා සිටි ජනාධිපතිවරයා, පරිසරය සුරක්ෂිත කිරීමේදී නිවාස හෝ වගාබිම් අහිමි වීමට සිදුවුව ද අනාගත ව්‍යසනයන් වැළැක්වීම සඳහා එම තීරණ ගත යුතු බව අවධාරණය කළේය. මේ හරහා ආයතනවල බලතල සහ තනතුරු වෙනස් විය හැකි වුවත් කිසිවෙකුත් කලබල විය යුතු නැති බව ද ඔහු කියා සිටියේය.

මලෛයගම් ජනතාව පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා, ඔවුන් මෙරට සහෝදර ජනතාවක් ලෙස ජීවත් වීමට පූර්ණ අයිතිය ලබාදෙන බව සහතික කළේය. විශේෂයෙන් වතු සමාගම්වල ගිවිසුම් 2042 දී අවසන් වූ පසු, ඒවා නැවත අත්සන් කිරීමේදී ජනතාවගේ ඉඩම් හා අනෙකුත් අයිතිවාසිකම් සුරක්ෂිත වන ලෙස වගන්ති ඇතුළත් කරන බව ඔහු පවසා සිටියේය. දැනටමත් එම ගිවිසුම් පිළිබඳ පසුවිපරම් කිරීමට කමිටුවක් පත් කර ඇති බව ද ඔහු අනාවරණය කළේය. මීට අමතරව යුද සමයේදී ඉන්දියාවට ගිය ජනතාවට නැවත ලංකාවට පැමිණීමට තිබූ බාධා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය කටයුතු කර තිබේ.

වතු ප්‍රජාව මුහුණ දෙන මන්දපෝෂණය, අඩු ආයු කාලය සහ අධ්‍යාපන ගැටලු පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී කරුණු දැක්වීය. “වත්තේ ඉපදී, වත්තේම වැඩ කර, වත්තෙම මිය යන ජීවිතවලින් මෙම ජනතාව මුදාගත යුතුයි. ඒ සඳහා ඇති ප්‍රධානම මාවත අධ්‍යාපනයයි,” යැයි පවසා සිටි ඔහු, එළඹෙන අයවැයෙන් නිවාස ඉදි කිරීමට ප්‍රමුඛතාව ලබා දෙන බවත්, මලෛයගම් ජනතාවගේ සෞඛ්‍ය සහ ආදායම් මාර්ග නංවාලීමට රජය කැපවී සිටින බවත් වැඩිදුරටත් සඳහන් කළේය.