එප්පාවෙල ලංකා පොස්පේට් සමාගමේ නිෂ්පාදන හා මෙහෙයුම් කටයුතු ප්‍රසාරණය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 110ක් වටිනා නව යන්ත්‍රෝපකරණ සහ මෙහෙයුම් වාහන යෙදවීමට කටයුතු කර තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 79ක් වැය කරමින් විල් ලෝඩර් යන්ත්‍ර දෙකක්, රුපියල් මිලියන 18ක් වැය කරමින් ටිපර් රථ දෙකක් සහ රුපියල් මිලියන 13ක් වැය කරමින් ජෝක් ලිෆ්ට් යන්ත්‍ර දෙකක් ආයතනික මෙහෙයුම් කටයුතු සඳහා නිල වශයෙන් භාරදී ඇත.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පැවති මෙම උත්සවයේදී ආයතනයේ මෙහෙයුම් ශක්තිමත් කිරීම උදෙසා තෝරාගත් නව රියදුරන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමද සිදු විය.

පසුගිය මාස 20ක කෙටි කාලසීමාව තුළ එප්පාවෙල ලංකා පොස්පේට් සමාගම විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇති අතර, එම කාලය තුළ රුපියල් මිලියන 76ක වියදමින් නව නිමි භාණ්ඩ ගබඩාවක් ඉදිකිරීමටත්, අක්‍රියව පැවති ක්‍රසර් යන්ත්‍රය, නිල වෙබ් අඩවිය මෙන්ම Sales Hotline අංකය යළි ක්‍රියාත්මක කිරීමටත් පියවර ගෙන ඇති බව සඳහන්ය.

එමෙන්ම පාරිභෝගික විශ්වාසය හා විනිවිදභාවය උදෙසා නිෂ්පාදනවල උපරිම සිල්ලර මිල මුද්‍රණය කිරීම, 2026-2030 නව උපායමාර්ගික සැලසුම එළිදැක්වීම, APM තෙල් පොහොර වෙළඳපොළට හඳුන්වාදීම සහ ERP Sample සහනදායි මිලට ලබාදීමද සිදු කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.