වාර්ෂිකව හිමිවන වැටුප් වර්ධක සමඟ රජයේ සේවකයන් ක්‍රමිකව ජීවත්විය හැකි වැටුප් මට්ටමකට රැගෙන යාමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට අලුතින් බඳවාගත් වේලාසටහන්කරුවන් 18 දෙනාට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙය ඓතිහාසික අවස්ථාවක් බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කාන්තාවන් දෙදෙනෙකු වේලාසටහන්කරු තනතුරට පත්වීම් ලැබීම මෙම බඳවාගැනීමේ විශේෂත්වයක් බව ද සඳහන් කළේය.

ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදුවන ඩිජිටල් හා ව්‍යුහාත්මක වෙනස්කම් සමඟ මෙම තනතුරේ කාර්යභාරය ඉදිරි වසර කිහිපය තුළ වෙනස් වනු ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, දෙදහසකට ආසන්න අයදුම්පත් අතුරින් සුදුසුකම්ලාභීන් 18 දෙනෙකු පමණක් මෙම තනතුරු සඳහා තෝරාගෙන ඇති බව පැවසීය. මෙම බඳවාගැනීම් සම්පූර්ණයෙන්ම සුදුසුකම් පදනම් කරගත් විනිවිදභාවයෙන් යුතු සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියකින් සිදු කර ඇති බව ද ඔහු පැහැදිලි කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ජී.ඒ. චන්ද්‍රපාල ප්‍රකාශ කළේ, වේලාසටහන්කරු යන නාමයට පමණක් සීමා නොවී, ඉදිරි ඩිජිටල්කරණ වැඩසටහන් සමඟ මෙම නිලධාරීන්ගේ කාර්යභාරය තවදුරටත් පුළුල් වන බවයි. ඒ සඳහා විශේෂ පුහුණු වැඩමුළු ද සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේය.

වෘත්තීය සමිති නියෝජිත රෝහන කුමාර පෙන්වා දුන්නේ, පැරණි දේශපාලන සංස්කෘතියෙන් බැහැරව හැකියාවට රැකියාව ලබාදෙන ක්‍රමවේදයක් යටතේ පත්වීම් ලැබූ මෙම නිලධාරීන් අවංකව, කාර්යක්ෂමව සහ විනිවිදභාවයෙන් යුතුව රාජ්‍ය සේවයට දායක විය යුතු බවයි.

මෙම අවස්ථාව සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අධ්‍යක්ෂ මණ්ඩල නියෝජිතයන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් සහභාගි වී සිටියහ.