දැනට යුද, ගුවන් සහ නාවික හමුදාව යටතේ පවතින සියලුම පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන ඒකාබද්ධ කරමින් ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පෙන්වා දෙයි. එමඟින් එම කටයුතුවල කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නංවා ගනිමින් අපේක්ෂිත අරමුණු කරා ළඟාවිය හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ 2027 පූර්ව අයවැය සාකච්ඡාවකට අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වෙමිනි. මෙහිදී ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ වර්තමාන ගෝලීය අභියෝග ජය ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත නවීන තාක්ෂණය සහ තාක්ෂණික උපකරණ වේගයෙන් ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරුණි.
ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ වෘත්තීය කුසලතා වැඩිදියුණු කිරීම සහ නව දැනුම අත්පත් කර ගැනීම වෙනුවෙන් විදේශ පුහුණු අවස්ථා සඳහා වෙන් කෙරෙන ප්‍රතිපාදන ඉහළ නැංවීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. මීට අමතරව, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ මෙහෙයුම් කටයුතු පිළිබඳව මෙන්ම නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම, ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සහ ඉදිරි සැලසුම් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. එමෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වය දිරිගැන්වීමේ විශේෂ වැඩපිළිවෙළක් පිළිබඳව ද අවධානය යොමු කෙරුණි.
මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ප්‍රධානීහු සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහු ද එක්ව සිටියහ.