දැනට පවතින එල්නිනෝ (El Niño) දේශගුණික තත්ත්වය හේතුවෙන්, ලබන වසරේ මාර්තු සහ අප්‍රේල් මාසවලදී මෙරට විදුලි උත්පාදනයට යම් බලපෑමක් එල්ල විය හැකි බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මෙම තත්ත්වයට විකල්පයක් ලෙස බැටරි බලශක්තිය (Battery Energy) භාවිත කරමින් විදුලිය උත්පාදනය කිරීමට පියවර ගන්නා බවයි. ඒ අනුව, එහි පළමු අදියර යටතේ මෙගාවොට් 160ක් ජාතික පද්ධතියට ඇතුළත් කිරීමේ ව්‍යාපෘතිය එළඹෙන දෙසැම්බර් මාසයට පෙර නිම කිරීමට නියමිතය. මෙම පද්ධතිය හරහා සැප්තැම්බර් මාසයේදී මෙගාවොට් 130ක් සහ ඔක්තෝබර් මාසයේදී මෙගාවොට් 10ක් ජාතික විදුලි පද්ධතියට ලබා ගැනීමට සැලසුම් කර ඇත.
මීට අමතරව, පෞද්ගලික අංශය විසින් ඉදිකරනු ලබන මන්නාරම සුළං බලාගාරයට අදාළව පවතින ගැටලුව සාර්ථකව විසඳාගතහොත්, තවත් මෙගාවොට් 50ක ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක් කර ගැනීමට හැකි වන බව ද අමාත්‍ය අනුර කරුණාතිලක අවධාරණය කළේය.
එමෙන්ම, බැටරි පද්ධතිය හරහා මෙගාවොට් 250ක සහ මෙගාවොට් 150ක ධාරිතාවන් ජාතික පද්ධතියට එකතු කර ගැනීම මඟින්, එල්නිනෝ තත්ත්වයට සාර්ථකව මුහුණ දෙමින් විදුලිය උත්පාදනය කිරීමට රජය බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.