යෝජිත නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ සියලු කටයුතු එළඹෙන මාසයක කාලයක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද අධ්‍යාපන ප්‍රතිපත්ති සංකල්ප පත්‍රිකාව පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (10) පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කළේය.

මෙම නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පූර්ව ළමාවිය අධ්‍යාපනය, සාමාන්‍ය අධ්‍යාපනය (ප්‍රාථමික, ද්විතීයික හා තෘතීක), උසස් අධ්‍යාපනය, වෘත්තීය හා තාක්ෂණ අධ්‍යාපනය මෙන්ම ඩිජිටල් සහ අවිධිමත් අධ්‍යාපනය යන ප්‍රධාන කුලුනු මත පදනම්ව සිදු කෙරෙන බව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙතෙක් මෙරට ක්‍රියාත්මක වූ අධ්‍යාපන ක්‍රමවේදයන් සහ විවිධ කාලවකවානුවලදී හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ මගින් සමාජයට සිදු වූ බලපෑම පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය. අතීතයේ ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ නිසි ලෙස සමාලෝචනය කර, ඉන් මතුවන වැදගත් කරුණු නව ප්‍රතිපත්ති රාමුවට ඇතුළත් කිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය.

විශේෂයෙන්ම 1991 වසරේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව පිහිටුවීමෙන් පසු, 1997 දී හඳුන්වා දුන් ප්‍රතිපත්තිය ප්‍රාථමික අධ්‍යාපනය සඳහා සාර්ථකව යොදා ගත්ත ද, 2016 දී සකස් කළ සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිපත්තිය නිසි ලෙස ක්‍රියාත්මක වී නොමැති බව මෙහිදී අනාවරණය විය. එසේම 2023 වසරේ සකස් කළ ප්‍රතිපත්තිය ද ජාතික මට්ටමින් පිළිගෙන නොමැති බැවින්, මෙවර සකස් කෙරෙන ප්‍රතිපත්ති රාමුව වඩාත් ප්‍රායෝගික සහ රටට ගැලපෙන එකක් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේය.