ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ පවතින දීර්ඝකාලීන නඩු ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා ස්වාධීන අභිචෝදක කාර්යාලයක් (Prosecutor’s Office) පිහිටුවීමට කටයුතු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි. මීට සමගාමීව එම කාර්යාලයේ උප කාර්යාල ජාලයක් දිවයින පුරා ස්ථාපිත කිරීමට ද රජය පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අද (11) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී අජිත් පෙරේරා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු ප්‍රමාද වීම පිළිබඳව අවධානය යොමු කළ හර්ෂණ නානායක්කාර පෙන්වා දුන්නේ, පවතින මානව සම්පත් හිඟය සහ තාක්ෂණික පහසුකම් අවම වීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇති බවයි.

මෙම අර්බුදයට විසඳුම් ලෙස රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු නවීකරණය කරන බව ද අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව, රස පරීක්ෂක වාර්තා ලබාදීමට ගතවන කාලය මාස තුනක් වැනි කෙටි කාලසීමාවකට සීමා කිරීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කරමින් පවතින අතර, එම දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අවශ්‍ය නව සේවක බඳවා ගැනීම් මේ වන විටත් ආරම්භ කර ඇත.

මීට අමතරව, නීතිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය නව නීති නිලධාරීන් බඳවා ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය නවීන පහසුකම් සැලසීමට අදාළ පාර්ශ්ව සමඟ මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බව ද අමාත්‍යවරයා අනාවරණය කළේය. අධිකරණ පද්ධතිය පූර්ණ වශයෙන් ඩිජිටල්කරණය කිරීම සහ මානව සම්පත් සංවර්ධනය කිරීම මඟින් මහජනතාවට කඩිනමින් යුක්තිය ඉටුකිරීම රජයේ ප්‍රමුඛතම වගකීම බව ද අමාත්‍ය හර්ෂණ නානායක්කාර වැඩිදුරටත් අවධාරණය කළේය.