ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ක්ෂේත්‍රයේ නව පුනර්ජීවනයක් ඇති කිරීමේ අරමුණින්, ජනාධිපති විශේෂ දූත හනීෆ් යූසුෆ් ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවරදී එරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් සමඟ තීරණාත්මක සාකච්ඡා මාලාවක නිරත විය.

ඇමෙරිකානු වාණිජ මණ්ඩලය සහ මැක්ලාටි ඇසෝසියේට්ස් (McLarty Associates) ආයතනය ඒකාබද්ධව සංවිධානය කළ මෙම විශේෂ වටමේස සාකච්ඡාවට Apple, Boeing, Mastercard සහ AdvaMed වැනි ලෝකප්‍රකට බහුජාතික සමාගම්වල නියෝජිතයෝ එක්ව සිටියහ. මීට අමතරව Atlantic Council සහ CSIS වැනි ප්‍රමුඛ පෙළේ ප්‍රතිපත්ති සම්පාදක ආයතන ද මෙම හමුවට සහභාගී වීම විශේෂත්වයකි. මෙහිදී ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනය, සැපයුම් දාම ජාල (Logistics), පුනර්ජනනීය බලශක්තිය, සංචාරක කර්මාන්තය සහ උසස් තාක්ෂණික නිෂ්පාදන යන ක්ෂේත්‍ර කෙරෙහි දැඩි අවධානයක් යොමු විය.

ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන හිතකාමී වටපිටාව පිළිබඳව කරුණු පැහැදිලි කළ හනීෆ් යූසුෆ් අවධාරණය කළේ, රජයේ ඉලක්කය හුදෙක් ව්‍යාපාර කිරීමේ පහසුව (Ease of doing business) සහතික කිරීම පමණක් නොව, ව්‍යාපාර ආරම්භ කිරීමේ වේගය (Speed of doing business) ඉහළ නැංවීම බවයි. ශ්‍රී ලංකාවේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම, උගත් මානව සම්පත සහ වත්මන් රජය ක්‍රියාවට නංවා ඇති විනිවිදභාවයෙන් යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව ඔහු මෙහිදී ඇමෙරිකානු බලධාරීන් දැනුවත් කළේය.

ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික ගමන්මග පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ ඇමෙරිකානු නියෝජිතයෝ, ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය සහ සැපයුම් දාමයන්හි සුරක්ෂිතතාව පිළිබඳව වැඩිදුර සහතිකයන් අපේක්ෂා කරන බව සඳහන් කළහ. මෙම සාකච්ඡාවල සාධනීය ප්‍රතිඵලයක් ලෙස, ඇමෙරිකානු ව්‍යාපාරික නියෝජිත කණ්ඩායමක් නුදුරේදීම මෙරට සංචාරයක නිරත වීමට නියමිතව ඇත. වොෂින්ටනයේදී ගොඩනඟා ගත් මෙම ජාත්‍යන්තර විශ්වාසය සැබෑ ආයෝජන සහ රැකියා උත්පාදනයක් දක්වා පරිවර්තනය කිරීම වත්මන් රජයේ මීළඟ ප්‍රධාන අභියෝගය වනු ඇත.