ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ශ්‍රී ලංකා ලංගම) අයත් පාඩු ලබන ඩිපෝ පුනර්ජීවනය කරමින් ඒවා ලාභ ලබන තත්ත්වයට පත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කර ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි. අද (11) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව අවධාරණය කළේය.
සභාවේදී මන්ත්‍රීවරයෙකු විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, බස් රථ ධාවනය විධිමත් කිරීම සහ පරිපාලනමය කාර්යක්ෂමතාව ඉහළ නැංවීම රජයේ ප්‍රමුඛතම අරමුණ වී ඇති බවයි.
විශේෂයෙන්ම, දැනට මූල්‍ය අර්බුදවලට මුහුණ දී සිටින ඩිපෝවල බස් රථ ධාවනය කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රුපියල් මිලියන 2000ක (බිලියන 2ක) අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමේ වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාවට නංවා ඇති බව ඔහු මෙහිදී අනාවරණය කළේය. මෙමඟින් එම ඩිපෝ මුහුණ දී සිටින මූල්‍ය පීඩනය සමනය කර ගනිමින් පොදු ප්‍රවාහන සේවය වඩාත් ගුණාත්මක තලයකට ඔසවා තැබීමට හැකි වනු ඇතැයි ද ප්‍රසන්න ගුණසේන වැඩිදුරටත් කියා සිටියේය.