ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ (El-Niño) කාලගුණික තත්ත්වය හමුවේ මෙරට ආහාර සුරක්ෂිතතාව, පානීය ජල සැපයුම සහ බලශක්ති ක්ෂේත්‍රයට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (11) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු අදාළ සියලු ආයතනවල ප්‍රධානීන් මෙම අවස්ථාවට කැඳවා තිබුණි. මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු වූයේ පවතින ජලාශවල ජල ධාරිතාව විධිමත්ව කළමනාකරණය කරමින්, කෘෂිකර්මාන්තයට සහ බලශක්ති උත්පාදනයට ඇති විය හැකි පීඩනය අවම කර ගැනීම පිළිබඳවයි.
විද්‍යාත්මක දත්තයන්ට අනුව, මෙවර මතු විය හැකි එල්-නිනෝ තත්ත්වය 2016-2017 වර්ෂවල ඇති වූ බරපතළ වාතාවරණයට සමාන විය හැකි බව නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ. එම අත්දැකීම් පාදක කරගනිමින්, 2026 වසරේ යල කන්නය නියමිත කාලයට වඩා මාස එකහමාරකට පමණ පෙර ආරම්භ කිරීමට රජය දැනටමත් පියවර ගෙන තිබේ.
ඉදිරි මාස කිහිපය තුළ ජනතාවට බාධාවකින් තොරව විදුලිය සැපයීම සහ පානීය ජල සුරක්ෂිතතාව සහතික කිරීම ප්‍රමුඛ වගකීමක් බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ සඳහා අවශ්‍ය සවිස්තරාත්මක සැලසුම් වහාම සකස් කර ඉදිරිපත් කරන ලෙස ඔහු අදාළ නිලධාරීන්ට නියෝග කළේය.
‘දිට්වා’ සුළි කුණාටුව සහ මැදපෙරදිග යුදමය තත්ත්වය වැනි බාහිර අභියෝගයන්ට සාර්ථකව මුහුණ දුන් ආකාරයටම, මෙම ගෝලීය දේශගුණික විපර්යාසය ද නිසි කළමනාකරණයකින් යුතුව ජය ගැනීමට හැකි බව ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ඇතුළු රාජ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.