ජපානයේ රැකියා ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකිකයන්ට පවතින අවස්ථා තවදුරටත් පුළුල් කරමින්, දෙරට අතර නව සහයෝගිතා ගිවිසුමකට එළඹීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ජපානයේ පවතින අඩු ජනගහන වර්ධනය සහ ශීඝ්‍රයෙන් වියපත් වන ප්‍රජාව හේතුවෙන් එරට දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍ර තුළ බරපතළ ශ්‍රම හිඟයක් මතු වී ඇත. මෙම අර්බුදයට විසඳුමක් ලෙස ජපාන රජය විසින් හඳුන්වා දී ඇති විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ක්‍රමවේදයන් යටතේ ලාංකිකයන්ට වැඩි අවස්ථා ලබා ගැනීම රජයේ අරමුණයි. මීට පෙර 2017 සහ 2019 වසරවලදී අත්සන් කළ ගිවිසුම් යටතේ ශ්‍රී ලාංකිකයන් මේ වන විටත් ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණු වැඩසටහන් සහ නිශ්චිත පුහුණු සේවක (SSW) වැඩසටහන් යටතේ සේවයේ නිරතව සිටිති.

වඩාත් විනිවිදභාවයකින් යුතු සහ ශ්‍රමිකයාගේ අයිතිවාසිකම් සුරැකෙන නව වැඩපිළිවෙළක් ලෙස ‘කුසලතා සංවර්ධනය සඳහා වන රැකියා වැඩසටහන’ (Training-cum-Employment Program) හඳුන්වා දීමට ජපාන රජය තීරණය කර තිබේ. මෙම නව ක්‍රමවේදය 2027 අප්‍රේල් 01 වැනිදා සිට නිල වශයෙන් ආරම්භ වීමට නියමිතය.

මෙම නව වැඩසටහන හරහා ශ්‍රමිකයන්ට ඉහළ ආරක්ෂාවක් සැලසෙන අතරම, ඔවුන්ගේ වෘත්තීය අභිවෘද්ධිය සඳහා පැහැදිලි මාවතක් නිර්මාණය කෙරේ. විශේෂයෙන්ම, මෙම වැඩසටහන යටතේ සේවයට එක්වන ලාංකිකයන්ට පසුව ‘නිශ්චිත පුහුණු සේවකයින් පිළිබඳ වැඩසටහන’ (Specified Skilled Worker) වෙත මාරු වීමට ද විශේෂ අවස්ථාව සැලසෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි. මෙය ජපානයේ රැකියා අපේක්ෂාවෙන් පසුවන මෙරට තරුණ ප්‍රජාවට ලැබුණු සුවිශේෂී ජයග්‍රහණයකි.