රාජ්‍ය අංශය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමේ රජයේ වැඩපිළිවෙළේ තවත් තීරණාත්මක පියවරක් ලෙස, රජයේ නිලධාරීන් සඳහා ලබාදෙන අනුග්‍රහ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර (Railway Season Tickets) මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ නිකුත් කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙම නව පද්ධතියට රාජ්‍ය ආයතන ලියාපදිංචි කිරීමේ නිල සමාරම්භක උත්සවය ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල “Waters Edge” හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා රාජ්‍ය ආයතන 35ක් නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

නව ක්‍රමවේදය යටතේ අදාළ පහසුකම ලබාගැනීමට අපේක්ෂා කරන රාජ්‍ය නිලධාරීන් www.pravesha.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ‘ප්‍රවේශ’ (Pravesha) ජංගම දුරකථන යෙදවුම (App) බාගත කරගැනීමෙන් ලියාපදිංචි විය හැකිය. එහිදී තමන් සේවය කරන ආයතනයේ අදාළ විෂය භාර නිලධාරියාගේ සම්බන්ධීකරණය ඇතිව, ආයතනික මාර්ගගත පිවිසුම (Online Portal) හරහා මෙම ලියාපදිංචිය තහවුරු කරගැනීමට අවස්ථාව සලසා දී තිබේ. සාර්ථකව ලියාපදිංචි වන නිලධාරීන්ට එළඹෙන ජූලි මාසය සඳහා අවශ්‍ය වාර ප්‍රවේශපත්‍ර ඉල්ලුම් කිරීමේ අවස්ථාව 2026 ජූනි මස 15 වනදා සිට විවෘත වේ.

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ “කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය” මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලබයි. රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙන්ම සාම්ප්‍රදායික ලිපිකාරමය ක්‍රමවේදයන්ගෙන් බැහැරව දුම්රිය මගීන්ට වඩාත් පහසු සහ විනිවිදභාවයකින් යුතු සේවාවක් සැපයීම මෙමඟින් අපේක්ෂා කෙරේ.