හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් පැනවීමත් සමඟ දැඩි කලබලයට පත් වූ පිරිසක්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් ඉලක්ක කර ගනිමින් සංවිධානාත්මක මඩ ප්‍රහාරයක් දියත් කර තිබේ.

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර විසින් සිදු කරන ලද ප්‍රකාශයක් මෙම මඩ ප්‍රහාරයට පදනම් වී ඇති අතර, ඔහු චෝදනා කරන්නේ සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නිකුත් කර තිබූ වරෙන්තු දෙකක් ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් විසින් හිතාමතාම පැහැර හැර ඇති බවයි. කෙසේ වෙතත්, විමර්ශන දත්ත හා ලේඛන පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ සරත් වීරසේකරගේ මෙම ප්‍රකාශය හුදෙක් වෛරී සහගත ලෙස ගොතන ලද ප්‍රබන්ධයක් පමණක් බවයි.

සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නිකුත් වූ අදාළ වරෙන්තු දෙක පිළිබඳ සත්‍ය තොරතුරු මෙසේය:

පළමු වරෙන්තුව 2017 මාර්තු 10 වැනි දින මඩකලපුව අධිකරණය විසින් නිකුත් කරන ලද්දේ අල්ලියාර් හන්දියේ ඇති වූ ගැටුමකට අදාළවය. එම වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට අධිකරණය නියෝග කර තිබුණේ එවකට සිටි මඩකලපුව දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට මිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ ශානි අබේසේකරට නොවේ.

දෙවන වරෙන්තුව 2018 ජූනි මස නිකුත් කර තිබුණේ ත්‍රස්ත මර්දන කොට්ඨාසය (TID) වෙතය. එවකට එහි අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ නාලක ද සිල්වා, නාමල් කුමාර නැමැත්තෙකු කළ අසත්‍ය ප්‍රකාශයක් මත පදනම්ව අත්අඩංගුවට ගනු ලැබීය. ඉන් අනතුරුව එම කොට්ඨාසය භාරව පත් කළ වරුණ ජයසුන්දර විසින් අදාළ වරෙන්තුව ක්‍රියාත්මක නොකර පැහැර හැර තිබුණි.

මෙම කරුණු අනුව පැහැදිලි වන්නේ සහරාන් හෂීම් සම්බන්ධයෙන් නිකුත් වූ කිසිදු වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීමේ වගකීමක් ශානි අබේසේකර වෙත නොපැවති බවයි. පාස්කු විමර්ශනවලදී රාජපක්ෂවරුන් කොටු විය හැකි තීරණාත්මක තොරතුරු හෙළිදරව් වීම වැළැක්වීමේ අරමුණින්, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ නිරත අවංක නිලධාරීන් අධෛර්යමත් කිරීමට මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් පතුරුවන බව විචාරකයෝ පෙන්වා දෙති.