වසරකට වැඩි කාලයක් තාවකාලිකව නතර වී තිබූ වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු, ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් අද (2026.06.08) වේරහැරදී නිල වශයෙන් ආරම්භ විය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් වාහන පරීක්ෂා කිරීමේ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ ස්ථාපිත මුද්‍රණ අංශයේදී මෙම කටයුතු සිදු කෙරේ.

මෙරට වාහන අංක තහඩු මුද්‍රණය වසර 22 ක් පුරා සිදු කළ පෞද්ගලික සමාගමේ කොන්ත්‍රාත් කාලය පසුගිය වසරේ අප්‍රේල් මාසයෙන් අවසන් වීමත් සමඟ මෙම සේවාව අඩාල වී තිබුණි. ඒ වෙනුවෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කළ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් අනතුරුව, නව සැපයුම්කරු ලෙස ‘සවුත් ඒෂියන් ටෙක්නොලොජි’ සමාගම තෝරා ගැනිණි. ඒ අනුව එම සමාගම සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අතර ඇති කරගත් ගිවිසුම් ප්‍රකාරව යතුරුපැදි, ත්‍රිරෝද රථ ඇතුළු සියලුම වාහන කාණ්ඩ සඳහා අංක තහඩු මුද්‍රණය අද සිට වේගවත් කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන අවධාරණය කළේ, තාක්ෂණික කමිටු ඇගයීම් මත පදනම්ව වඩාත් ප්‍රමිතිගත සේවාවක් ජනතාවට ලබා දීමට රජය පියවර ගත් බවයි. “නතර වී තිබූ අංක තහඩු ප්‍රමාණය මෙන්ම අලුතින් ලියාපදිංචි වන වාහන සඳහා ද දෛනිකව අංක තහඩු මුද්‍රණය කර ලබා දෙනවා. නව පද්ධතියේ විශේෂත්වය වන්නේ අංක තහඩුව මුද්‍රණය කර අවසන් වූ සැණින්, පැය දෙකක් ඇතුළත ඒ පිළිබඳව වාහන හිමිකරුට කෙටි පණිවිඩයක් (SMS) මඟින් දැනුම් දීමයි,” යනුවෙන් ඔහු පැවසීය.

මෙම අවස්ථාවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජනරාල් තාරක දේවප්‍රිය, කොමසාරිස් ප්‍රියන්තා දිසානායක, තනූජා ආරියරත්න, සහකාර කොමසාරිස්වරුන් වන සී. ඩබ්ලිව්. මුතුකුමාරණ, ආනන්ද බන්නැහැක මෙන්ම ‘සවුත් ඒෂියන් ටෙක්නොලොජි’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සරත් දයානන්ද සහ ව්‍යාපෘති අධ්‍යක්ෂ සුජිත් ජයසූරිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.