මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කරමින් එහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින්, රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණිය සඳහා 237 දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩායම බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ලබා දුන් උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.
ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින රෝහල් හා සෙසු ආයතනවල පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ එළඹෙන ජූනි මස 20 සහ 21 යන දිනවලදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම බඳවා ගැනීම් සඳහා පදනම් කර ගනු ලබන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් 2025 අගෝස්තු 31 වන දින පවත්වන ලද විවෘත තරග විභාගයේ ප්‍රතිඵලයි.
අමාත්‍යාංශය සඳහන් කරන පරිදි, අදාළ විභාගයෙන් ලකුණු 141ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා ගත් අයදුම්කරුවන් පමණක් මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ලැබේ. සුදුසුකම් ලබා ඇති සියලුම අයදුම්කරුවන් වෙත කැඳවීම් ලිපි මේ වන විටත් ලියාපදිංචි තැපෑල මඟින් යොමු කර ඇති අතර, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් ද ලබා ගත හැකිය.
පසුගිය ජනවාරි මාසයේදී ද මෙම සේවාව සඳහා නිලධාරීන් 213 දෙනෙකු බඳවා ගනු ලැබූ අතර, වර්තමාන බඳවා ගැනීම එහි දෙවන අදියර වේ. සම්මුඛ පරීක්ෂණ කටයුතු අවසන් වූ වහාම කිසිදු ප්‍රමාදයකින් තොරව පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය නලින්ද ජයතිස්ස නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දී ඇත.