ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ අතිශය බිහිසුණුම ම්ලේච්ඡ ක්‍රියාවක් වන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවී මේ වන විට වසර හතක් සපිරී ඇතත්, එහි වින්දිතයන්ට සැබෑ සාධාරණය ඉටු කිරීම වෙනුවට ඇතැම් බලවේග තමන්ගේ පටු දේශපාලන න්‍යායපත්‍ර සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම ඛේදවාචකය භාවිත කරමින් සිටින බව “The New Wings” තරුණ සංවිධානය චෝදනා කරයි.

කොළඹදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් එම සංවිධානයේ තරුණ ක්‍රියාකාරිනියක අවධාරණය කළේ, වින්දිතයන්ගේ වේදනාව මතින් දේශපාලන වාසි ලබා ගැනීමට සහ අධිකරණ විමර්ශන ක්‍රියාවලිය වෙනත් මඟකට යොමු කිරීමට ඇතැම් පාර්ශවයන් ගන්නා නින්දිත උත්සාහයන් සමස්ත සමාජයේම දැඩි පිළිකුලට ලක්විය යුතු බවයි.

මියගිය 261 දෙනා ස්වභාවිකව මියගිය අය නොවේ; ඔවුන් සැලසුම්සහගතව ඝාතනය කෙරුණා

මාධ්‍ය හමුවේදී වින්දිතයන් විඳින අසීමිත වේදනාව පිළිබඳව ඉතා සංවේදී ලෙස කරුණු පැහැදිලි කළ ක්‍රියාකාරිනිය මෙසේ සඳහන් කළාය:

“අප හොඳින්ම මතක තබා ගත යුතුයි, පාස්කු ප්‍රහාරයෙන් මියගිය 261 දෙනා සාමාන්‍ය ලෙස මියගිය අය නෙමෙයි. ඔවුන්ව ඉතා සැලසුම්සහගතව ඝාතනය කළා. ඒ වගේම තවත් 500කට අධික පිරිසක් බරපතළ පිළිස්සුම් තුවාල සහිතව ශාරීරිකවත් මානසිකවත් අදටත් දැඩි පීඩාවකින් පසුවෙනවා. ඔවුන්ට කිසිම වැරැද්දක් කරලා තිබුණේ නැහැ. තමන් මිය යන්නේ ඇයිදැයි කියා හෝ නොදැනයි මේ අහිංසක මිනිසුන් ඝාතනයට ලක් වුණේ.”

ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මියගිය පිරිස අතර කිසිදු වරදක් නොකළ කුඩා දරුවන් 40ත් 50ත් අතර ප්‍රමාණයක් සිටි බවයි. මීට අමතරව, තමන්ගේ රාජකාරිය නිසි පරිදි ඉටුකරමින් සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු සහ ශ්‍රී ලංකාව ආරක්ෂිත සුන්දර රටක් යැයි සිතා සංචාරය සඳහා පැමිණි විදේශිකයන් 45ත් 50ත් අතර පිරිසක් ද මෙම බෝම්බ ප්‍රහාරයන්ට ගොදුරු වී ජීවිතක්ෂයට පත් වූ බව ඇය සිහිපත් කළාය.

පවුල් පිටින් එකම සොහොනක වැලලුණු මහා ඛේදවාචකය

“සමහර පවුල්වල අම්මා, තාත්තා සහ දරුවන් සියලු දෙනාම එකම මොහොතක මියගියා. අවසානයේදී ඔවුන්ව එකට තැන්පත් කරන්න සිද්ධ වුණේ එකම වළකයි. මිනී පෙට්ටි පේළියක් එකම වළකට බස්සද්දී, සොහොන් කොත් ඉදිවුණේ සමස්ත පවුල් පිටින්. ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථානය වූ ඒ උතුම් පාස්කු ඉරිදා දිනයේ, අලුත් ඇඳුම් ඇඳලා, මුළු පවුලම සිනාසෙමින් පල්ලි ගියේ මහත් භක්තියෙන් යුතුව යාඥා කරන්නයි. නමුත් අවසානයේදී ඔවුන්ට සිද්ධ වුණේ අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගන්නයි.” යැයි පවසමින් ක්‍රියාකාරිනිය මාධ්‍ය හමුව තුළ අතිශය සංවේදී වාතාවරණයක් මතු කළාය.

අධිකරණයට බලපෑම් කරන “දේශපාලන රංගනයන්”

දැනට මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන අධිකරණ සහ විමර්ශන ක්‍රියාවලීන් කෙරෙහි දේශපාලන බලපෑම් එල්ල වෙමින් පවතින බව පෙන්වා දුන් ප්‍රකාශිකාව, මෙරට නීතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කළාය.

“දැනට මේ අපරාධයට එරෙහිව අධිකරණයේ නඩු විභාග වෙමින් පවතිනවා. නීතිය ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ වගේ වෙලාවක සමහර කණ්ඩායම් අර අසරණ වින්දිතයන් ගැන හිතන්නේ නැතුව, තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රවලට ඉඩ ලබාගන්න විවිධ නාට්‍ය රඟදක්වනවා. අධිකරණයේ තීරණවලට බලපෑම් කරන්න, ජනතා අවධානය වෙනතකට හරවන්න නළු නිළියන් වගේ හැසිරෙනවා. මෙවැනි ක්‍රියාවලින් සිදුවන්නේ වින්දිතයන්ට සිදුවූ අසාධාරණය තව තවත් යටපත් වීමයි.”

තරුණ පරපුරෙන් සමස්ත ලාංකිකයන්ට ඇමතුමක්

දේශපාලන පක්ෂ හා පටු බෙදීම්වලින් තොරව, වින්දිතයන් වෙනුවෙන් නැගී සිටින ලෙස ඇය සමස්ත රටවැසියන්ගෙන් ඉල්ලා සිටියාය.

“අපට ජාති, ආගම් හෝ පක්ෂ භේද නැහැ. අප හැමෝම ලාංකිකයන්. අප නිතරම පවසන්නේ එකම මවකගේ සෙවණේ හැදෙන දරුවන් කියායි. එසේ නම්, මේ අසාධාරණය දැක දැකත් අප නිහඬව සිටින්නේ ඇයි? අප අසාධාරණයට එරෙහිව හඬ නොනඟන්නේ නම්, අපගේ දෑත්වලද එම අහිංසකයන්ගේ ලේ තැවරී ඇති බව අප මතක තබා ගත යුතුයි. යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් කැපවෙන තරුණ පරපුරක් විදිහට අපට මේ අපරාධ දෙස තවදුරටත් බලා සිටිය නොහැකියි.”

අවසාන වශයෙන්, තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසා බලා මෙම පටු දේශපාලන බෙදීම් පසෙක තබා, තවමත් යුක්තිය පසිඳලීම අපේක්ෂාවෙන් සිටින අසරණ වින්දිතයන් වෙනුවෙන් සාධාරණත්වය ඉල්ලා හඬ අවදි කරන ලෙස ඇය සමස්ත සමාජයෙන්ම දැඩි ලෙස ඉල්ලා සිටියාය.