කෑගල්ල අධිකරණ සංකීර්ණයේ පවතින යටිතල පහසුකම් හා පරිපාලන ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ නීතිඥ සංගම් නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (04) පැවැත්විණි.
කෑගල්ල, වරකාපොල, මාවනැල්ල සහ රුවන්වැල්ල යන නීතිඥ සංගම්වල නියෝජිතයන් මෙහිදී අමාත්‍යවරයා හමුවේ පෙන්වා දුන්නේ අධිකරණ කටයුතු සිදු කිරීමේදී පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම, නඩු වාර්තා ගබඩා කිරීමේ දුෂ්කරතා මෙන්ම නීතිඥයන්ට සහ සේවක මණ්ඩලයට නිසි වාහන අංගනයක් නොමැති වීම බරපතළ ගැටලුවක් බවයි.
මෙම කරුණු සැලකිල්ලට ගනිමින් අදහස් දැක්වූ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළේ, කෑගල්ල අධිකරණයේ පවතින සියලු අඩුපාඩු පියවීම සඳහා මහල් හයකින් යුත් අතිනවීන අධිකරණ සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි. ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විටත් අවසන් කර ඇති අතර රජය ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කර ඇති බව ද ඔහු සහතික විය.
විශේෂයෙන්ම, වාහන නැවැත්වීමේ ගැටලුවට විසඳුම් ලෙස භූමියේ පිහිටීම අනුව නව වාහන අංගනයක් සකස් කිරීමටත්, එම ඉදිකිරීම් කටයුතු කිසිදු ලෙසකින් පරිසරයට හානි නොවන අයුරින් සිදු කිරීමටත් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ සාගරිකා අතාවුද, කෑගල්ල නීතිඥ සංගමයේ සභාපති ආනන්ද කුමාරසිංහ ඇතුළු නීතිඥ සංගම් නියෝජිතයන් සහ අධිකරණ අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.