රාජපක්ෂ පාලන සමයේදී ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විමල් වීරවංශගේ මාධ්‍ය ලේකම් ලෙස සේවය කළ ප්‍රසාද් මංජු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මෙම අත්අඩංගුවට ගැනීම තහවුරු කළේය.

සැකකරුට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරමින් ඔහුට හිමි නිල වාහන සහ ඉන්ධන දීමනා ලබාගන්නා අතරතුර, අතිරේකව රාජ්‍ය දේපළ අවභාවිත කිරීමයි. විශේෂයෙන්ම, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ කටයුතු සඳහා කුලී පදනම මත ලබාගෙන තිබූ වාහන, නීතිවිරෝධී ලෙස සිය මාධ්‍ය කටයුතු වෙනුවෙන් පරිහරණය කිරීම හරහා ඔහු රජයට රුපියල් දාහත් ලක්ෂ හතළිස් හයදහසක (රු. 1,746,000) මූල්‍ය පාඩුවක් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව සැකකරු කැඳවා ප්‍රකාශයක් සටහන් කරගත් අතර, එහිදී හෙළි වූ කරුණු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

කොළඹ 02, මැලේ වීදියේ පදිංචි 52 හැවිරිදි වියේ පසුවන ප්‍රසාද් මංජුට එරෙහිව සාවද්‍ය පරිහරණය සහ පොදු දේපළ පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.