නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කෙරෙන උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව, නව පරම්පරාවේ ප්‍රවණතා සහ වත්මන් කර්මාන්ත ක්ෂේත්‍රයේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි නව්‍යකරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි. අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

සංශෝධනය කිරීමට නියමිත වෘත්තීය විෂය ධාරාවේ ව්‍යුහය සහ සහතිකකරණ ක්‍රියාවලිය පිළිබඳව අදහස් හා නිර්දේශ ලබාගැනීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය. එහිදී අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන්ට උසස් අධ්‍යාපනය සඳහා නව ප්‍රවේශ මාර්ග විවර වන පරිදි විධිමත් නිර්ණායක සකස් කළ යුතු බවයි. එමෙන්ම, ක්‍රමවත් තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලියක් හරහා මෙම විෂය ධාරාව හදාරන සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් වෘත්තීය ජීවිතයක් සඳහා අවශ්‍ය පදනම සකස් කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

වෘත්තීය විෂය ධාරාවේ ගුණාත්මකභාවය සහ වටිනාකම ඉහළ නැංවීම සඳහා නිසි තේරීම් ක්‍රමවේදයක් යටතේ සිසුන් ඇතුළත් කරගැනීමේ අවශ්‍යතාව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. උසස් අධ්‍යාපනය සඳහා පවතින ප්‍රවේශයන් පුළුල් කරමින්, ‘පාර්ශ්වික ඇතුළත් වීම්’ (Lateral Entry) ක්‍රමවේදයක් හඳුන්වා දීම හරහා වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන්ට වැඩි අවස්ථා උදාකර දිය යුතු බව ද ඇය සඳහන් කළාය.

මීට අමතරව, වෘත්තීය අධ්‍යාපනයේ පවතින සමාජීය හා ආර්ථික වටිනාකම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය විය. මෙමඟින් බිහිවන රැකියා අවස්ථා පිළිබඳව සිසුන් සහ දෙමාපියන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද තීරණය විය.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව සහ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ. ජී. දයාරත්න බණ්ඩා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.