වරදකරුවෙකු වී බන්ධනාගාරගත කර සිටින ඥානසාර හිමිට ජනාධිපති සමාව ලබාගැනීම සහ උන්වහන්සේගේ සිවුර ගැලවීමට එරෙහිව මහනුවර සිට කොළඹ දක්වා සංවිධානය කෙරුණු භික්ෂු පා ගමන අවසන් වූයේ ආගමික මුහුණුවරකට මුවා වූ දේශපාලන ව්යාපෘතියක සැබෑ ස්වභාවය රට හමුවේ තහවුරු කරමිනි.
මෙම පා ගමන ආරම්භයේදී නිර්පාක්ෂික හා නිර්දේශපාලනික එකක් ලෙස පෙන්වීමට උත්සාහ කළද, බලන්ගොඩ කස්සප හිමි නොහොත් ‘ගුටිකන කසුන්’ නමැත්තා ඊට එක්වීමත් සමඟ එය පොහොට්ටුවේ සූක්ෂ්ම දේශපාලන සැලසුමක් බවට මුල්වරට ඉඟි පළ විය. එමෙන්ම ගමන් මාර්ගය පුරා ඊට ආධාර අනුබල සැපයූ සහ දානයන් පිළිගැන්වූ පාර්ශ්වයන් හරහාද මෙහි දේශපාලනික පසුබිම පිළිබඳව ඉඟි ලැබිණි.
විශේෂයෙන්ම මෙම දේශපාලනික ස්වභාවය පෙන්වීමේ කූටප්රාප්තිය සනිටුහන් වූයේ කඩවත ප්රදේශයේදීය. එහිදී උදය ගම්මන්පිල, විමල් වීරවංශ, අනුරාධා යහම්පත්, සරත් වීරසේකර, චන්ද්රා වාකිෂ්ඨ, චන්න ජයසුමන, සමන් රත්නප්රිය, සංජීව එදිරිමාන්න, ප්රසන්න රණවීර, මනෝජ් ගමගේ සහ ජගත් කුමාර යන දේශපාලනඥයන් සහ ක්රියාකාරීන් ඊට එක්වීමෙන් එම දේශපාලන සබඳතාව වඩාත් තහවුරු විය.
කෙසේ වෙතත්, දින ගණනාවක් පුරා පැවති මෙම ක්රියාමාර්ගය භික්ෂූන් වහන්සේලාට නුසුදුසු හැසිරීමක් ලෙස සමාජය තුළින් මෙන්ම සමාජ මාධ්ය ජාලා ඔස්සේද දැඩි දෝෂදර්ශනයට ලක් විය. මීට අමතරව, මහ වැසි මැද උද්ඝෝෂණයේ නිරත පිරිස අතහැර දමා බලන්ගොඩ කස්සප හිමි තරු පහේ හෝටල් කාමර වෙත යාම සහ සරත් වීරසේකර වැනි දේශපාලනඥයන් හමුවීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල විය. අවසානයේදී මෙම උද්ඝෝෂණය භික්ෂූන් වහන්සේ නමකට නොගැළපෙන බවත් එය වහාම නවත්වන ලෙසත් මහානායක හිමිවරුන් ලිපියක් මඟින් කළ දැනුම්දීමෙන් පසු ඔවුහු පා ගමන නතර කිරීමට පියවර ගත්හ.
සිංහල බෞද්ධ ජාතිකවාදී මතවාදය පෙරටු කරගත් පොහොට්ටු දේශපාලන ප්රවාහය නියෝජනය කරන භික්ෂු ප්රතිරූපයක් ලෙස පෙනී සිටි බලන්ගොඩ කස්සප හිමිට මෙම සිදුවීම් හරහා එල්ල වූ දැඩි අප්රසාදය හමුවේ, උන්වහන්සේගේ ප්රතිරූපය යළි ගොඩනැඟීමේ ප්රචාරක ව්යාපාරයක් මේ වන විට සමාජ මාධ්ය ඔස්සේ දියත් කර ඇති බව දැකගත හැකිය.
එහිදී ඉතාමත් සූක්ෂ්ම ලෙස නාමල් රාජපක්ෂට බනින කොටස් පමණක් කපා වීඩියෝ පට ලෙස පළ කරනු ලබයි. දේශපාලනය පිළිබඳ ගැඹුරු සොයාබැලීමක් නොකරන සාමාන්ය ජනතාව වෙත බලන්ගොඩ කස්සප යනු පොහොට්ටුවේ අයෙකු නොවේය යන මතය පැළපදියම් කිරීම මෙහි ප්රධාන අරමුණයි.
නමුත් මෙම වීඩියෝ පසුගිය අරගල සමයේදී ලබාගත් ඒවා වේ. අරගලයත් සමඟ පොහොට්ටුව මුළුමනින්ම බිමට සමතලා වූ පසුබිමක, පක්ෂයේ ඉදිරි ගමන සකසා ගැනීම උදෙසා ගමක්, පන්සලක් හෝ ගුරු භික්ෂුවක් පවා නොදන්නා පුද්ගලයෙකු අරගලයේ චරිතයක් බවට පත් කරමින්, බලන්ගොඩ කස්සප නමින් පැවිදි කරවූ අවස්ථාවල ගත් වීඩියෝ මෙලෙස වර්තමානයේදී ප්රතිරූප ගොඩනැඟීමට උපයෝගී කරගනිමින් සිටියි.
සටහන |Sachith Liyanage