ශ්‍රී ලංකාවේ කෝපි වගාකරුවන් මුහුණ දෙන ආර්ථික අවදානම් අවම කරමින් එම ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නව රක්ෂණාවරණයක් හඳුන්වා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ. දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ලාංකීය කෝපි සඳහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් වගා ව්‍යාප්තිය දිරිමත් කිරීම මෙම වැඩසටහනේ මූලික ඉලක්කයයි.
මෙම නව රක්ෂණ ක්‍රමවේදය යටතේ කෝපි පැළ සිටුවා ගතවන මුල් වසර තුන සඳහා පූර්ණ රැකවරණය සැලසේ. ඒ ඒ වසරට නියමිත රක්ෂිත මුදලින් සියයට 7ක සුළු වාරිකයක් ගෙවීම මඟින් වගාකරුවන්ට මෙම පහසුකම ලබාගත හැකිය. ඒ අනුව පළමු වසර සඳහා රුපියල් 510,000ක ද, දෙවන වසර සඳහා රුපියල් 660,000ක ද සහ තෙවන වසර සඳහා රුපියල් 840,000ක ද වශයෙන් රක්ෂණාවරණය ක්‍රමිකව ඉහළ යනු ඇත.
මෙම සහනය ලබාගැනීම සඳහා වගාකරුවන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයන්ට අනුකූලව සිය වගා කටයුතු සිදු කිරීම අනිවාර්ය වේ. නියඟය, ගංවතුර වැනි ස්වාභාවික ආපදා පමණක් නොව වන අලි හානි, පාලනය කළ නොහැකි ශාක රෝග, කෘමි උවදුරු සහ සෙසු වන සත්ව හානි සඳහා ද මෙමඟින් වන්දි ලබා දීමට කටයුතු යොදා තිබේ.
මීට අමතරව, රක්ෂිත මුදලින් සියයට 0.5ක අතිරේක වාරිකයක් ගෙවන්නේ නම් හදිසි ගිනි ගැනීම් සහ නායයෑම් වැනි ආපදාවන් සඳහා ද අමතර ආරක්ෂාවක් ලබාගැනීමට වගාකරුවන්ට අවස්ථාව සලසා දී ඇත. මෙම නව පියවර හරහා මෙරට කෝපි වගාකරුවන්ට බියකින් තොරව සිය වගාවන් සාර්ථක කර ගැනීමට මඟ පෑදෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි.