ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා මෙහෙයවීමේ රජයේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා සමස්ත රාජ්‍ය සේවයම නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමේ ජාතික වැඩපිළිවෙළේ මූලික පියවර ආරම්භ කර තිබේ. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පැවැත්විණි.
ගෝලීය තාක්ෂණික ප්‍රවණතා සමඟ සමපාත වෙමින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, සේවා ප්‍රමාදයන් අවම කිරීම සහ නිලධාරීන්ගේ තාක්ෂණික කුසලතා වර්ධනය කිරීම මෙම වැඩසටහනේ මූලික අභිමතාර්ථයන් වේ. මෙහිදී වඩාත් අවධාරණය කෙරුණු කරුණක් වූයේ රාජ්‍ය සේවය පුද්ගලයන් මත පදනම් වූ සාම්ප්‍රදායික ක්‍රමවේදයෙන් මුදාගෙන, පද්ධති මත පදනම් වූ (System-based) නවීන සේවා සැපයුම් යාන්ත්‍රණයකට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවයි.
විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තුළ පවතින තාක්ෂණික භීතිය දුරු කර ඔවුන් ඩිජිටල් කුසලතාවලින් සන්නද්ධ කිරීම මෙන්ම සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම මෙම වැඩපිළිවෙළේ ප්‍රමුඛතාවක් වනු ඇත. ලක්ෂ සංඛ්‍යාත රාජ්‍ය සේවකයන් කාර්යක්ෂමව පුහුණු කිරීම සඳහා ඊ-ඉගෙනුම් (e-learning) පද්ධතියක් සහ ජංගම දුරකථන ඔස්සේ ලබාගත හැකි කෙටි වීඩියෝ පාඩම් මාලා සහිත ‘Micro-learning’ ක්‍රමවේදයක් හඳුන්වා දීමට මෙහිදී යෝජනා විය.
මෙම ක්‍රියාවලියේ තීරණාත්මක පියවරක් ලෙස, නියමිත ඩිජිටල් සාක්ෂරතා පාඨමාලා සම්පූර්ණ කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ වාර්ෂික කාර්යසාධන ඇගයීම් සහ උසස්වීම් සඳහා අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත් කිරීමට ද අවධානය යොමු වී ඇත. පුහුණු කටයුතු සඳහා කාර්යාල සහ පාසල් පරිගණක විද්‍යාගාර පස්වරු කාලයේදී යොදා ගැනීමටත්, ඉගෙනුම් ක්‍රියාවලිය වඩාත් ආකර්ෂණීය කිරීම සඳහා ‘Gamification’ වැනි නවීන ක්‍රමවේද හා ඩිජිටල් අත්සන් සහිත සහතික හඳුන්වා දීමටත් මෙහිදී එකඟතාව පළ විය.
මෙම ජාතික මෙහෙයුම ප්‍රධාන අංශ තුනක් යටතේ ක්‍රියාත්මක වනු ඇත:
- දැනට සේවයේ නියුතු නිලධාරීන්ගේ කුසලතා වර්ධනය කිරීම.
- අනාගතයේදී සිදු කෙරෙන නව බඳවා ගැනීම් සඳහා ඩිජිටල් සුදුසුකම් අනිවාර්ය කිරීම.
- පාසල් සහ විශ්වවිද්‍යාල විෂයමාලා ඩිජිටල් ආර්ථිකයේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීම.
මූලික අදියරේදී සයිබර් ආරක්ෂාව පිළිබඳ කෙටි දැනුවත් කිරීමේ පාඨමාලාවක් සහ නිල විද්‍යුත් තැපෑල (Official Email) ඇතුළු සහයෝගීතා මෙවලම් භාවිතය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් නිලධාරීන් වෙත ලබා දීමට නියමිතය.