ශ්‍රී ලංකාවේ ළමුන් සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වයන් ශක්තිමත් කිරීම සහ අධිකරණ ක්‍රියාවලිය තුළ ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීම පිළිබඳව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) විධායක මණ්ඩලයේ උසස් නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ විධායක මණ්ඩලයේ සභාපති රෙයින් ටම්සාර් (Rein Tammsaar) ඇතුළු දූත පිරිස සමඟ පැවැති මෙම හමුවේදී, ළමා හා යෞවන ආඥා පනත යාවත්කාලීන කිරීම සහ ළමුන්ට අදාළ නඩු කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය.

විශේෂයෙන්ම, අධිකරණයේදී දරුවන්ගෙන් සාක්ෂි ලබා ගැනීමේදී ඔවුන් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදීමේ පහසුකම් පුළුල් කිරීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු විය. අපරාධ නීති විධිවිධාන සංග්‍රහයේ සිදුකරන ලද සංශෝධනවලට අනුව මෙම ක්‍රියාවලිය දැනටමත් සැකසී ඇති අතර, ඒ පිළිබඳව විනිසුරුවරුන් දැනුවත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මෙහිදී පෙන්වා දුන්නේය. දැනට මහනුවර අධිකරණයේ ස්ථාපිත කර ඇති වීඩියෝ තාක්ෂණික සාක්ෂි ලබාදීමේ කාමර පහසුකම් දිවයින පුරා අනෙකුත් අධිකරණ වෙත ද ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.

මීට අමතරව, ළමුන් සම්බන්ධ නීති පිළිබඳව විනිසුරු පුහුණු ආයතනය දැනුවත් කිරීම සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විෂය මාලාවට ළමා නීතිය විෂයයක් ලෙස ඇතුළත් කිරීමට ඇති හැකියාව පිළිබඳව ද අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය. නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අධිකරණ පද්ධතියේ පවතින නිලධාරී පුරප්පාඩු හේතුවෙන් නඩු විභාග ප්‍රමාද වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එම පුරප්පාඩු පිරවීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද UNICEF නියෝජිතයන් දැනුවත් කළේය.

මෙම අවස්ථාව සඳහා UNICEF විධායක මණ්ඩලයේ උප සභාපතිවරුන් වන සොෆියා ටෙස්ෆාමරියම් (Eritrea), ඇනා ජොහැන්නස්ඩෝටිර් (Iceland), ඇලෙජැන්ඩ්‍රා හර්නන්ඩස් ගොන්සාලෙස් (Dominican Republic), ක්ලෝඩියෝ සිල්වියෝ නාඩි (Liechtenstein), විධායක ලේකම් ඇන්ඩ්‍රෙස් ෆ්‍රැන්කෝ සහ උපාය මාර්ගික විශේෂඥ නටාලි ලෙස්ටන් යන පිරිස සහභාගී වූහ.