ශ්‍රී ලංකාවේ ධීවර හා තාක්ෂණික පීඨවලින් අධ්‍යාපනය ලබා පිටවන උපාධිධාරී තරුණ තරුණියන්ට ජපානයේ ධීවර තාක්ෂණික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබාදීමට ජපාන රජය එකඟතාව පළ කර ඇති බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් පවසයි.

ජපානයේ නිල සංචාරයක නිරත අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ ජපානයේ කෘෂිකර්ම, වන විද්‍යා හා ධීවර රාජ්‍ය අමාත්‍ය නෙමොටෝ යුකිනෝරි (NEMOTO Yukinori) අතර ඊයේ (02) ටෝකියෝ නුවරදී පැවැති ප්‍රතිපත්තිමය මට්ටමේ විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබේ. විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාළ ආයතන සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව මෙම වැඩපිළිවෙළ කඩිනමින් සම්බන්ධීකරණය කර ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය මෙහිදී තීරණය කර ඇත.

මෙම හමුවේදී දෙරට අතර ධීවර, ජලජීවී වගා සහ සාගර සම්පත් කළමනාකරණ සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව ද දීර්ඝ වශයෙන් අවධානය යොමු විය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර අගය එකතු කිරීමේ ක්‍රියාවලිය (Value Addition) ප්‍රවර්ධනය කිරීම සඳහා ජපාන තාක්ෂණික සහාය ලබාගැනීම සහ ජපාන වෙළෙඳපොළ තුළ ලාංකීය මුහුදු ආහාර සඳහා පවතින ඉල්ලුම තවදුරටත් වර්ධනය කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මෙහිදී අවධාරණය කළේ, මෙරට ධීවර ක්ෂේත්‍රය නවීන තාක්ෂණයෙන් බලගැන්වීමට ජපාන රජය දක්වන සහාය ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයට ප්‍රබල ශක්තියක් වනු ඇති බවයි. මෙම අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජකන කුමාරසිංහ සහ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස ද එක්ව සිටියහ.