මීට වසර 14කට පෙර යාපනයේදී තරුණයන් දෙදෙනෙකු අතුරුදහන් කිරීම සම්බන්ධ නඩු විභාගය සඳහා පෙනී සිටීම මෙතෙක් කල් මඟහරිමින් සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට, මාර්ගගත ක්‍රමයෙන් (Online) හෝ වෙනත් සුදුසු ක්‍රමවේදයකින් අනිවාර්යයෙන්ම යාපනය අධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙන ලෙස නියම කර තිබේ.
යාපනය අතිරේක මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ 2011 දෙසැම්බර් 09 වන දින යාපනයේදී අතුරුදහන් කරන ලද මානව හිමිකම් ක්‍රියාකාරීන් වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් සම්බන්ධ හබයාස්කෝපස් නඩුව ඊයේ (02) යළි විභාගයට ගත් අවස්ථාවේදීය.
වින්දිතයන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ අධිකරණ භූමියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, මෙම තීරණාත්මක නියෝගය හරහා ඉදිරි දිනකදී සාක්ෂි ලබා දීමට ගෝඨාභය රාජපක්ෂට අනිවාර්යයෙන්ම සිදුවන බව තහවුරු වූ බවයි. වසර ගණනාවක් තිස්සේ සාක්ෂි දීමෙන් වැළකී සිටි හිටපු ආරක්ෂක ලේකම්වරයා, අපරාධය සිදු වූ කලාපයේම අධිකරණයකට කැඳවීමට ගත් තීරණය පිළිබඳව ලලිත් කුමාර්ගේ පියා වන ආරුමුගම් වීරරාජා සිය සතුට පළ කළේය.
“අපි අවුරුදු 14ක් තිස්සේ කොළඹ සහ යාපනය උසාවි ගානේ රස්තියාදු වුණා. ගෝඨාභය රාජපක්ෂ එදා ආරක්ෂක ලේකම් විදිහට හිටියත් උසාවියට ඇවිත් සාක්ෂි දෙන්න බෑ කියලා දිගටම මඟහැරියා. නමුත් යුක්තිය ඉටු කරන්න ඔහු අනිවාර්යයෙන්ම උත්තර දෙන්න ඕනේ කියලා ඊයේ විනිසුරුතුමා නියෝග කළා,” යැයි ඔහු පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ යාපනය අධිකරණයට පැමිණීම මඟහැරීම සඳහා මීට පෙර ආරක්ෂක හේතු ඉදිරිපත් කර තිබුණි. එහෙත් 2019 වසරේදී සාක්ෂි දීමට නියමිතව තිබූ දිනට පසුදාම ඔහු උතුරු නැගෙනහිර පළාත්වල මැතිවරණ ප්‍රචාරක චාරිකාවල කිසිදු බාධාවකින් තොරව නිරත වූ බවත්, ඒ අනුව ඔහු දක්වන ආරක්ෂක හේතු පදනම් විරහිත බවත් නීතිඥ නුවන් බෝපගේ අධිකරණයට පෙන්වා දී තිබේ. ඒ අනුව, මාර්ගගත ක්‍රමවේදය (Zoom) ඔස්සේ හෝ සාක්ෂි ලබා දීම අනිවාර්ය කරමින් නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය විය.