දිට්වා සුළිකුණාටුවෙන් පසු උද්ගතව ඇති ආපදා තත්ත්වය හමුවේ සාමාන්‍ය ජන ජීවිතය කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාම තහවුරු කරනු වස්, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රධාන සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇත. අදාළ සේවාවන්ට කිසියම් හෝ බාධාවක් හෝ අවහිරයක් සිදු වුවහොත් එය රටේ පොදු ජනතාවගේ පැවැත්මට සෘජුව බලපාන බව සලකා මෙම පියවර ගෙන තිබේ.

මෙම නිවේදනයට අනුව අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් පහත දැක්වේ:

  • බලශක්තිය හා උපයෝගිතා: විදුලි බලය සැපයීම, ඛනිජ තෙල්, ගෑස් ඇතුළු ඉන්ධන බෙදාහැරීම, ජලය සැපයීම සහ ජලාපවහන සේවාවන්.
  • සෞඛ්‍ය සේවය: රෝහල්, සාත්තු නිවාස හා බෙහෙත් ශාලාවල රෝගී සත්කාරක කටයුතු, පෝෂණය සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ සියලු සේවාවන් මෙන්ම ගිලන්රථ සේවා.
  • ප්‍රවාහනය සහ යටිතල පහසුකම්: මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවා, වරාය, ගුවන්තොටුපළ, දුම්රිය මාර්ග, පාලම් හා බෝක්කු නඩත්තුව ඇතුළු සංචාරක පහසුකම් සැලසීම.
  • පරිපාලන හා ක්ෂේත්‍ර සේවා: සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී සහ කෘෂි පර්යේෂණ සහකාර ඇතුළු ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන්ගේ රාජකාරීන්.
  • මූල්‍ය හා සන්නිවේදන: ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළුව සියලුම රාජ්‍ය බැංකු, රක්ෂණ සේවා, දුරකථන, විදුලි සංදේශ සහ මාධ්‍ය සේවාවන්.
  • පළාත් පාලන හා කෘෂිකාර්මික: කසළ කළමනාකරණය, ගිනි නිවීමේ සේවා, වාරිමාර්ග, පහත් බිම් සංවර්ධනය සහ කෘෂි රක්ෂණ සේවාවන්.

ආපදා තත්ත්වයෙන් පසු රටේ ස්ථාවරත්වය පවත්වා ගැනීමටත්, මහජන සේවාවන්හි කාර්යක්ෂමතාව සහතික කිරීමටත් රාජ්‍ය යාන්ත්‍රණය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මෙහි මූලික අරමුණයි.