ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ සාමාජිකයන් විදේශ ගමන් බලපත්‍ර කිහිපයක් භාවිතා කරන බවට විමල් වීරවංශ විසින් රූපවාහිනී සජීවී වැඩසටහනකදී සිදු කළ ප්‍රකාශයත් සමඟ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව සිටින හිටපු බුද්ධි ප්‍රධානී තුවාන් සුරේෂ් සලේගේ ප්‍රධානතම නෛතික ආරක්ෂාව බිඳ වැටී තිබේ. දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ වීරවංශ විසින් සෘජුවම සලේ පාවා දීමක් මෙමගින් සිදුව ඇති බවයි.

පාස්කු ඉරු දින එල්ල කරන ලද ම්ලේච්ඡ මරාගෙන මැරෙන ප්‍රහාරය සැලසුම් කළ කාලසීමාව තුළ සුරේෂ් සලේ විදේශයක පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක සේවය කළ බැවින්, ඔහුට ප්‍රහාරකයන් හමුවීමට නොහැකි බව උදය ගම්මන්පිල ඇතුළු පිරිස දිගින් දිගටම තර්ක කළහ. සලේගේ නීතිඥයෙකු ලෙස ද පෙනී සිටිමින් ගම්මන්පිල උත්සාහ කළේ එම තානාපති සේවා කාලය පලිහක් කර ගනිමින් සලේගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමටයි.

කෙසේ වෙතත්, විමල් වීරවංශ විසින් බුද්ධි අංශ නිලධාරීන් රහසිගතව ගමන් බලපත්‍ර කිහිපයක් භාවිතා කරන බව පිළිගැනීමත් සමඟ ගම්මන්පිලගේ එම තර්කය මුළුමනින්ම නිශ්ප්‍රභ වී තිබේ. මින් ගම්‍ය වන්නේ නිල වශයෙන් විදේශයක සිටිය ද, වෙනත් ගමන් බලපත්‍රයක් භාවිතා කර රහසිගතව මෙරටට පැමිණීමේ හැකියාව බුද්ධි නිලධාරීන්ට පවතින බවයි. මෛත්‍රීපාල සිරිසේන පාලන සමයේ පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේදී ද අනාවරණය වූයේ පාස්කු ප්‍රහාරය සැලසුම් කළ සමයේ සලේ රහසිගතව මෙරටට පැමිණ ප්‍රහාරකයන් හමු වී ඇති බවයි.

වඩාත් සුවිශේෂී කරුණ වන්නේ විමල් වීරවංශට එරෙහිව ද ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිතා කරමින් නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනා මත නඩුවක් අධිකරණය හමුවේ විභාග වෙමින් පැවතීමයි. තම සහචරයා බේරා ගැනීමට ගත් උත්සාහයකදී හෝ නොසැලකිලිමත් ලෙස කළ මෙම ප්‍රකාශය හරහා සුරේෂ් සලේ සහ පාස්කු ප්‍රහාරය අතර පවතින බව කියන සම්බන්ධය පිළිබඳ විමර්ශනවලට නව පණක් ලැබී තිබේ.