2022 වසරේදී මෙරට මුහුණ දුන් ආකාරයේ බරපතළ ආර්ථික අර්බුදයක් යළි ඇති වනු ඇති බවට ඇතැම් පාර්ශ්ව අසත්‍ය මත පතුරුවමින් සිටියද, එවැනි තත්ත්වයක් කිසිසේත් ඇති නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. අද (22) පෙරවරුවේ අම්පාර, නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු වසර 24කට පසු යළි ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්ධන සහ අනෙකුත් ආනයනික භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති බවත්, එය රුපියල කෙරෙහි යම් තෙරපුමක් ඇති කරන බාහිර අර්බුදයක් බවත් ජනාධිපතිවරයා පිළිගත්තේය. කෙසේ වෙතත්, වත්මන් රජය එම අර්බුදය කළමනාකරණය කර ගැනීමට සමත් බව පෙන්වා දුන් ඔහු, 2022 වසර සහ වර්තමානය අතර පවතින වෙනස පිළිබඳව දත්ත සහිතව පැහැදිලි කළේය.
“2022 වසරේදී මහ බැංකුව සතුව තිබුණේ ඩොලර් මිලියන 50ක පමණ අල්ප සංචිතයක්. එහෙත් අද වන විට මහ බැංකුව සතුව ඩොලර් මිලියන 7,000කට ආසන්න මුදලක් පවතිනවා. එමෙන්ම හෙට අනිද්දා වන විට තවත් ඩොලර් මිලියන 700ක ණය වාරිකයක් අපට ලැබීමට නියමිතයි. එදා රජය සතුව රුපියල් පවා තිබුණේ නැහැ. අද අප සතුව ශක්තිමත් ධන අතිරික්තයක් සහිත භාණ්ඩාගාරයක් පවතිනවා,” යනුවෙන් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ඉන්ධන, ගෑස්, කිරිපිටි හෝ පොහොර වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල කිසිදු හිඟයක් රට තුළ ඇති වීමට ඉඩ නොදෙන බවට ජනාධිපතිවරයා මෙහිදී සහතික විය. වත්මන් රජය ලැබූ ජනවරමට අනුව දේශපාලකයන්ගේ අසීමිත වරප්‍රසාද සහ විශ්‍රාම වැටුප් අහෝසි කර ඇති බවත්, නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන ශිෂ්ට සම්පන්න රටක් ගොඩනැඟීමේ වගකීම අකුරටම ඉටු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙදින වැඩ ආරම්භ කෙරුණු නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානය 1999 වසරේ ආරම්භ වූවක් වුවද, 2014 වසරේ සිට එහි වැඩ නතර වී තිබිණි. රුපියල් මිලියන 945ක ඇස්තමේන්තුවක් සහිත මෙම ව්‍යාපෘතිය සඳහා 2026 අයවැයෙන් රුපියල් මිලියන 300ක් වෙන් කර ඇති අතර, 2027 වසර අවසන් වීමට පෙර මෙහි ඉදිකිරීම් නිම කිරීමට නියමිතය.