මල්වතු මහ නා හිමියන් බැහැදැකීමට ගිය සමගි ජන බලවේගයේ මන්ත්රී කණ්ඩායමට මුහුණ දීමට සිදු වූ අකරතැබ්බයෙන් පසු, එහි සිටි පක්ෂයේ ප්රබලයෙකු අනෙක් ප්රබලයාට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇතැයි සජබ අභ්යන්තර ආරංචි මාර්ග පවසයි.
“අපි ගියේ ඥානසාර හාමුදුරුවෝ ගැන කතා කරන්න. මෙයා මාලිගාවට බෝම්බ ගහපු කතාවක් ඇදලා ගත්තා. ඒ කතාවෙන් පස්සේ තමයි අපිට නාන්න වුණේ” යැයි එම සජබ ප්රබලයා නොසතුටින් යුතුව ප්රකාශ කර ඇති බව දැනගන්නට තිබේ. මෙම ප්රකාශය අනෙක් ප්රබලයාට ද ආරංචි වී ඇති අතර, ඔහු ඊට දැඩි ලෙස උරණ වී ඇත.
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ හිටපු අමාත්ය ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු සජබ නියෝජිත පිරිසක් ඉකුත්දා මහනුවරට ගොස් තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියන් බැහැදැක සාකච්ඡාවක නිරත විය.
එම සාකච්ඡාව අතරතුරදී මල්වතු මහා නා හිමියන් ප්රකාශ කර තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ දළදා මාලිගාවට බෝම්බ ගැසූ බවට කියන කතාව අසත්යයක් බවයි. එම ප්රකාශය සමාජ මාධ්ය ජාලාවල මෙන්ම ප්රධාන මාධ්යවල ද දැඩි අවධානයට ලක් වූ පුවතක් බවට පත්ව තිබිණි.