ඊශ්‍රායලයේදී බලපෑමට ලක්වූ බව කියන ශ්‍රී ලාංකික තරුණියකගේ ආරක්ෂාව සහ ඇයව කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම සහතික කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය සෘජු මැදිහත්වීමක් ආරම්භ කර තිබේ.
ඊශ්‍රායල අමාත්‍ය ඉටමර් බෙන්-ගිවිර් විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහරින ලද වීඩියෝ පටයක් මගින් මෙම සිදුවීම අනාවරණය වී ඇත. එම වීඩියෝවෙහි “Global Sumud Flotilla” හි රඳවා සිටින පිරිසකට අමානුෂික ලෙස සලකන ආකාරය නිරූපණය වන අතර, ඒ පිළිබඳව ශ්‍රී ලංකා රජය සිය දැඩි කනස්සල්ල සහ සංවේගය පළ කරන බව නිල නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
අදාළ තරුණියගේ යහපැවැත්ම සහ ගෞරවය ආරක්ෂා කරමින් ඇයට අවශ්‍ය ක්ෂණික කොන්සියුලර් සහාය ලබා දීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා රජය ඊශ්‍රායල බලධාරීන්ගෙන් ඉල්ලා ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මේ වන විටත් රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය සමඟ අඛණ්ඩව සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් පවතී.
ලොව ඕනෑම රටක සිටින සිය පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂාව සහ ගෞරවය තහවුරු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය උපරිමයෙන් කැපවී සිටින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් අවධාරණය කර ඇත.