ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට ස්ථාවර මට්ටමක පවතින බවත්, 2025 වසර දක්වාම සාර්ව ආර්ථික ස්ථායීකරණය පවත්වාගෙන යාමට රජය සමත්ව ඇති බවත් මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (23) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කළේය.
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගයෙහි මෑතකදී ඇති වූ උච්චාවචනය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙය රජයේ වැරදි ප්‍රතිපත්ති හෝ දූෂණය නිසා සිදුවූවක් නොව, ගෝලීය ආර්ථික පීඩනයන් සහ වෙළෙඳපොළ තුළ සිදු වූ අවස්ථාවාදී ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් බවයි. ඩොලර් සඳහා ඇති ඉල්ලුම සහ සැපයුම මත පදනම් වූ මෙම තත්ත්වය කෙටි කාලීන බලපෑමක් පමණක් බවත්, අද (22) දහවල් වන විට අන්තර් බැංකු විදේශ විනිමය වෙළෙඳපොළේ මධ්‍ය අගය රුපියල් 330 දක්වා ස්ථාවර වී ඇති බවත් ඔහු අනාවරණය කළේය.
මෙරට විදේශ සංචිත තත්ත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරි සති කිහිපය තුළ සුවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලැබීමට නියමිතය. ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් එළඹෙන මැයි මස 27 වැනිදා වාරික දෙකක් එකවර නිදහස් කිරීමට නියමිත අතර, එම මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 700 කි. මීට අමතරව, ආසියානු සංවර්ධන බැංකුව මගින් මේ වසරේදී ඩොලර් මිලියන 480 ක් ද, ජූනි මස අවසානය වන විට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150 ක් සහ OPEC අරමුදලෙන් ඩොලර් මිලියන 50 ක් ද ලැබීමට නියමිතව ඇත.
වාහන ආනයන බදු සම්බන්ධයෙන් පවතින කතාබහ පිළිබඳව ද පැහැදිලි කළ අනිල් ජයන්ත, පෞද්ගලික වාහන ආනයනය සඳහා තාවකාලික අධිභාරයක් පැනවූයේ ඩොලර් ඉල්ලුම කළමනාකරණය කිරීමට මිස ආර්ථිකය හකුළා දැමීමට නොවන බව ප්‍රකාශ කළේය. අපනයන ක්ෂේත්‍රය පසුගිය මාස කිහිපය තුළ සුවිශේෂී ප්‍රගතියක් පෙන්වා ඇති බැවින්, දේශීයව ඩොලර් උත්පාදනය ශක්තිමත්ව පවතින බවත්, රජය සැලසුම් කළ ආදායම් ඉලක්ක කරා සාර්ථකව ළඟා වෙමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.