ප්‍රජාතන්ත්‍රවාදී රටකට ශක්තිමත්, ප්‍රතිපත්තිගරුක විපක්ෂයක් අත්‍යවශ්‍ය සාධකයකි. එහෙත් වර්තමාන ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සහ එහි නායක සජිත් ප්‍රේමදාස පෙන්නුම් කරන්නේ දැක්මක්, දෘෂ්ටිවාදයක් හෝ දිශානතියක් නොමැති අතිශය අසාර්ථක දේශපාලන හැසිරීමකි. ඔවුන්ගේ මුළු දේශපාලන ක්‍රියාන්විතයම ලඝු වී ඇත්තේ ‘යන එන ඕනෑම බස් රථයකට නැග බෝඩ් ලෑල්ල අල්ලා ගැනීමටය’.
මේ මොහොතේ විපක්ෂ නායකවරයාගේ හැසිරීම නිරීක්ෂණය කරන ඕනෑම දේශපාලන විචාරකයෙකුට පෙනී යන කරුණු කිහිපයක් තිබේ:
- ප්‍රතිපත්ති විරහිත මැදිහත්වීම්: අස්ගිරි පාර්ශ්වය සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡා සාර්ථකව අවසන් වී, භික්ෂූන් බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනා සාකච්ඡා වෙමින් පවතිද්දී, විපක්ෂ නායකවරයා කෝට්ටේ පාර්ශ්වයට දුවගොස් ‘අපේ පියාණන් අපට කීවේ සිවුරට වඳින්න කියාය’ යනුවෙන් ලාභදායී ප්‍රකාශ නිකුත් කරයි.
- අවස්ථාවාදී සන්ධාන: උපාධිධාරීන්ගේ විරෝධතාවක් දුටුවිට එතැනට දිවගොස් ලේ වලින් අත්සන් කර ටිකට් කඩයි; ධීවරයන් පාරට බැස්ස විට එතැනට පනියි; ජාතිවාදී භික්ෂූන් පාරට බැස්ස විට ඔවුන්ට කරගසන්නට බලයි.
- පාවෙන ඡන්දදායකයාගෙන් ඈත්වීම: නාගරික මධ්‍යම පාන්තික, බුද්ධිමත් සහ ප්‍රගතිශීලී පුරවැසියන් බලාපොරොත්තු වන්නේ ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්තිමය වශයෙන් විවේචනය කරන පරිණත විපක්ෂයකි. එහෙත් ප්‍රධාන විපක්ෂය මෙලෙස අන්තගාමී, ප්‍රතිගාමී ඕපාදූප දේශපාලනයක නිරත වන විට එම තීරණාත්මක ඡන්ද පදනම ඔවුන්ගෙන් මුළුමනින්ම ගිලිහී යයි.
ඉතිහාසය අපට කියාදෙන පාඩමක් තිබේ. 2004 දී ජාතික හෙළ උරුමය හරහා භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුවට ගෙනැවිත් සිදුකළ විනාශය මෙරට ජනතාවට අමතක නැත. නාමයෝජනා දීම මුල්කරගෙන පන්සල් ඇතුළේ ගහමරා ගත්, පාර්ලිමේන්තුව තුළ සිවුරු ඉරාගත්, අවසානයේ මන්ත්‍රී භික්ෂූන් හට කොන්දොස්තරලා ‘අරූ, මූ’ කියමින් බස්වලින් බස්සන තත්ත්වයට සඟසසුන පිරිහී ගියේ ආගම දේශපාලනීකරණය කළ බැවිනි.
ජාතික ජන බලවේගය ආණ්ඩුවක් ලෙස වැරදි කරන්නේ නම්, එය විවේචනය කිරීමට ජනතාවට අයිතියක් ඇත. නමුත් විපක්ෂයේ කාර්යභාරය විය යුත්තේ එම වැරදි පෙන්වා දෙමින් විකල්ප ආර්ථික හා සමාජීය වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම මිස, පරාජිත ජාතිවාදී කල්ලිවල අතකොළුවක් වීම නොවේ. සජිත් ප්‍රේමදාස තවමත් සිතන්නේ වේදිකා ගණනාවකට නැග, මයික්‍රෆෝනයක් දුටු සැණින් වේගයෙන් කතා කිරීම ජනප්‍රියත්වය කියාය. එහෙත් සැබෑ නායකත්වය යනු ප්‍රතිපත්තිමය ස්ථාවරයක පිහිටා, ජනප්‍රිය නොවන නමුත් නිවැරදි තීන්දු ගැනීමට ඇති ධෛර්යයයි. එම ධෛර්යය නොමැති තාක් කල්, විපක්ෂය රැඳෙනු ඇත්තේ ඉතිහාසයේ විහිළු සපයන පිටස්තර නරඹන්නන්ගේ භූමිකාවේ පමණි.