එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ලන්ඩන් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවී විශේෂ සුහද සාකච්ඡාවක නිරත විය. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ, ස්වාභාවික ආපදා මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් එල්ල වූ විවිධ ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වා ගනිමින් ජනතාවට අවශ්‍ය සහන සැලසීමට වත්මන් රජය සමත් වී ඇති බවයි.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට ගොඩනැඟෙමින් පවතින නව දේශපාලන සංස්කෘතිය පිළිබඳව අදහස් දැක්වූ ඇය, එය කිසිසේත්ම ආපසු හැරවිය නොහැකි සුබදායී පරිවර්තනයක් බව ප්‍රකාශ කළාය. මෙම අවස්ථාවට එක්වූ අමාත්‍ය සරෝජා පෝල් රාජ් සඳහන් කළේ, සියලු ජාතීන්ට සමානව සලකන සහ රටේ සංවර්ධනයේ ප්‍රතිලාභ සෑම පුරවැසියෙකුටම සමසේ හිමිවන යුක්තිගරුක පාලනයක් රට තුළ ස්ථාපිත කර ඇති බවයි.

සාම්ප්‍රදායික දේශපාලන රැස්වීම් රටාවෙන් බැහැරව පවත්වන ලද මෙම හමුවේ විශේෂත්වය වූයේ, පැමිණ සිටි ලාංකිකයින්ට අග්‍රාමාත්‍යවරිය සහ අමාත්‍යවරිය වෙත සෘජුවම ප්‍රශ්න යොමු කිරීමට සහ අදහස් දැක්වීමට අවස්ථාව සලසා දී තිබීමයි.

මෙම උත්සවයේ කැපී පෙනෙන තවත් කරුණක් වූයේ එහි මූල්‍ය කළමනාකරණයයි. රාත්‍රී ආහාරය ඇතුළුව උත්සවයේ සියලු වියදම් සහභාගී වූවන් විසින්ම දරා තිබූ අතර, කිසිදු ආකාරයක මහජන මුදලක් මේ සඳහා වැය නොකළ බව සංවිධායක මණ්ඩලය අවධාරණය කළේය. මෙය නව රජයේ විනයගරුක දේශපාලන භාවිතාව ප්‍රදර්ශනය කිරීමක් බව ද විචාරකයෝ පවසති. මෙම අවස්ථාවට එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර ද සහභාගී විය.