ශ්රී ලංකාවේ ජනතාව ජාතිය, ආගම හෝ පක්ෂ දේශපාලනය මත පදනම්ව බෙදී වෙන් නොවී ගනු ලැබූ සවිඥානික තීරණය නිසා වත්මන් රජයට 60%ක ප්රබල ජනවරමක් හිමි වූ බව ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්ය බිමල් රත්නායක පවසයි. පසුගිය මාස දහඅටක කාලය තුළ කිසිදු ජනකොටසක් සිය අනන්යතාවය මත සැකයට හෝ අවිශ්වාසයට ලක් නොවන පරිසරයක් නිර්මාණය කිරීමට රජය සමත් වී ඇති බව ද ඔහු අවධාරණය කළේය.
අමාත්යවරයා මේ බව සඳහන් කළේ ශ්රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ආගමික සහජීවනය සහ සංහිඳියා ප්රවේශය පිළිබඳ සම්මන්ත්රණයේ සමාප්ති උත්සවයට අද (20) එක්වෙමිනි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්යවරයා පෙන්වා දුන්නේ, වත්මන් රජය සිය පස් අවුරුදු ධුර කාලය ස්ථාවරභාවය, වර්ධනය සහ පරිවර්තනය යන ප්රධාන අදියර තුනක් යටතේ මෙහෙයවන බවයි. “අතීතයේදී දෙමළ වීම නිසා හෝ මුස්ලිම් වීම නිසා ජනතාව විඳි පීඩනය දැන් සමනය වී තිබෙනවා. උතුර පිළිගන්නා දකුණක් සහ දකුණ පිළිගන්නා උතුරක් සහිත සැබෑ සමානාත්මතාවය දැන් රට තුළ ස්ථාපිත වෙමින් පවතිනවා,” යැයි ඔහු සඳහන් කළේය.
පසුගිය කාලයේ බලයේ සිටි ආණ්ඩු පටු දේශපාලන වාසි තකා ජාතිවාදයට සහ ආගම්වාදයට උඩගෙඩි දුන් බව පැවසූ බිමල් රත්නායක, වත්මන් රජය කිසිසේත්ම එවැනි පසුගාමී බලවේගවලට සහාය නොදක්වන බව සහතික විය. 2024 මැතිවරණයේදී ජනතාව විසින් ජාතිවාදී දේශපාලන කණ්ඩායම් මුළුමනින්ම පරාජය කළ බවත්, එම වැටුණු කණ්ඩායම්වලට යළි නැගිටීමට ඉඩ නොදිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
නීතිය සැමට සාධාරණව ක්රියාත්මක කිරීම සහ ජාතික සමගිය තහවුරු කිරීම වෙනුවෙන් තැබූ කිසිදු පියවරක් රජය ආපසු නොගන්නා බව ද අමාත්යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන සිවඥාණම් ශ්රීධරන්, මනෝ ගනේෂන් සහ ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්යක්ෂ ජෙහාන් පෙරේරා ඇතුළු විද්වතුන් සහ සර්ව ආගමික නායකයින් රැසක් එක්ව සිටියහ.