පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි කර ඔහුව දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා විපක්ෂයේ ඇතැම් පිරිස් සූක්ෂ්ම කුමන්ත්‍රණයක නිරත වන්නේ දැයි දේශපාලන කරළිය තුළ බරපතළ සැකයක් මතු වී තිබේ.

චාමර සම්පත් දසනායක ඊයේ (20) පාර්ලිමේන්තුව තුළ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් අධිකරණයට එරෙහිව සිදු කළ ප්‍රකාශයන් අනුමත කිරීමට සමගි ජන බලවේගයේ දයාසිරි ජයසේකර, චමින්ද විජේසිරි සහ එස්.එම්. මරික්කාර් යන මන්ත්‍රීවරුන් පෙරමුණ ගැනීම මෙම සැකයට මූලික හේතුව වී ඇත. මන්ත්‍රීවරයාට එරෙහිව අධිකරණ දෙකක විභාග වන නඩුවකට අදාළව සිය වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බව ඔහු එහිදී චෝදනා කළේය.

මෙම නඩුවලට අදාළව චාමර සම්පත්ගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගෙන ඇති අතර විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ. එම තහනම තාවකාලිකව ඉවත් කර ගැනීමට අධිකරණය ඔහුට සහනයක් ලබා දී තිබුණි. ඒ අනුව, විදේශ ගමන් බලපත්‍රයක් සහිත පුද්ගලයෙකුගේ ශරීර ඇපයක් සහ රුපියල් දස ලක්ෂයක මුදල් ඇපයක් තැබීමෙන් පසුව එම බලපත්‍රය ලබා ගැනීමට ඔහුට අවස්ථාව හිමිව තිබුණි.

එහෙත්, අධිකරණය ලබා දුන් එම නෛතික සහනය නිසි ලෙස ක්‍රියාත්මක කරනු වෙනුවට චාමර සම්පත් පාර්ලිමේන්තුව තුළ කලහකාරී ලෙස හැසිරීමට උත්සාහ කළේය. මෙහි ඇති විශේෂත්වය වන්නේ, නීතිය පිළිබඳ මනා අවබෝධයක් ඇති දයාසිරි ජයසේකර වැනි නීතිඥ මන්ත්‍රීවරුන් පවා චාමර සම්පත්ගේ මෙම අමනෝඥ හැසිරීම දිරිමත් කිරීමයි.

දේශපාලන නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ, මෙම උසිගැන්වීම් හරහා චාමර සම්පත්ව තවදුරටත් අධිකරණ අපහාසයකට හෝ නෛතික පටලැවිල්ලකට මැදි කර, අවසානයේ ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කර ගැනීමේ උගුලක් විපක්ෂය විසින් අටවා ඇති බවයි. චාමර සම්පත්ගේ සටන්කාමීත්වය සිය වාසියට හරවා ගනිමින් ඔහුව දේශපාලනිකව අගාධයකට ඇද දැමීමේ සූක්ෂ්ම සැලසුමක් මෙහි පවතින බවට ද විචාරකයෝ අනතුරු හඟවති.