ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මියොන් ලී සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර නිල හමුවක් ඊයේ (13) පස්වරුවේ පැලවත්ත පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මෙම හමුවේදී දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගත හැකි විවිධ ක්ෂේත්‍ර පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය.
මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරුණේ මෙරට තරුණ ශ්‍රම බලකායේ කුසලතා වර්ධනය කිරීම, ඩිජිටල්කරණය සහ සෞඛ්‍ය අංශයේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවයි. දකුණු කොරියානු රජයේ සහ විවිධ ජාත්‍යන්තර සංවිධානවල දායකත්වයෙන් ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම සහ කොරියානු රැකියා වෙළඳපොළ තුළ ලාංකිකයන්ට ඇති අවස්ථා තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. ශ්‍රී ලංකාව තුළ දකුණු කොරියානු ආයෝජන ඉහළ නැංවීමට උපරිම උත්සාහයක් ගන්නා බව තානාපති මියොන් ලී මෙහිදී සහතික වූවාය.
2026 නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සම්මේලනයේ (ICAPP) මහා මණ්ඩල රැස්වීම පිළිබඳව ද අවධානය යොමු කළ තානාපතිවරිය, ආරම්භයේ සිටම එම සංවිධානයේ කටයුතු සඳහා ජනතා විමුක්ති පෙරමුණ ලබාදෙන සක්‍රිය දායකත්වය අගය කළාය. මීට අමතරව, වියට්නාම් ජනාධිපතිවරයාගේ මෑතකාලීන ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ද ඇය සිය සුබපැතුම් එක් කළ අතර, එම සංචාරය මෙරට ආයෝජන ප්‍රවර්ධනයට මනා පිටුවහලක් වනු ඇතැයි ද සඳහන් කළාය.
දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය අගය කළ ටිල්වින් සිල්වා, ලාංකික තරුණයන්ට කොරියාවේ හිමිවන රැකියා අවස්ථා සහ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට කොරියානු රජය ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පිරිනැමීය.