15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් එළඹෙන 22 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කළේය.
කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින සැකකාර හිමිනම නිරීක්ෂණය කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන එම රෝහල් පරිශ්‍රය වෙත ගියේය. එහිදී හිමිනමගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම රිමාන්ඩ් නියෝගය නිකුත් කරන ලදී.
එමෙන්ම, සැකකාර හිමිනම සම්බන්ධයෙන් ලබා දී ඇති වෛද්‍ය නිර්දේශ සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා, උන්වහන්සේව වැඩිදුර ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත මාරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළේය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ විශේෂ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම පියවර ගත් අතර, අදාළ නඩුවට සම්බන්ධ නිට්ටඹුව පොලීසියේ ස්ථානාධිපතිවරයා ද අධිකරණය හමුවට කැඳවා තිබිණි. බාලවයස්කාර දැරියක ලිංගිකව අපයෝජනය කිරීමේ චෝදනාව මත පල්ලේගම හේමරතන හිමියන් කොළඹ නවලෝක රෝහලේදී පොලිස් අත්අඩංගුවට පත් වූයේ පසුගිය මැයි 08 වැනිදා රාත්‍රියේදීය.
(TheLeader.lk)