රී ලංකාවේ හෘද රෝග ප්‍රතිකාර සේවාවන්හි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 2026 වසර තුළ දිවයින පුරා පිහිටි ප්‍රධාන රෝහල් රැසක අතිනවීන හෘද කැතීටකරණ යන්ත්‍ර (Cath Lab) 16ක් අලුතින් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 3103ක දැවැන්ත මූල්‍ය ප්‍රතිපාදනයක් වෙන් කර ඇත.
මෙම නවීන යන්ත්‍ර පද්ධති කොළඹ, මහනුවර සහ ගාල්ල ජාතික රෝහල්වල මෙන්ම මඩකළපුව, රත්නපුර, බදුල්ල, යාපනය, කලුබෝවිල, අනුරාධපුර, කුරුණෑගල ශික්ෂණ රෝහල් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. මෙමගින් දැනට රජයේ රෝහල් පද්ධතිය තුළ පවතින කැත් ලැබ් (Cath Lab) සංඛ්‍යාව 26 දක්වා ඉහළ යනු ඇත.
මෙම ව්‍යාපෘතියේ මූල්‍ය දායකත්වය ප්‍රධාන මාර්ග තුනක් ඔස්සේ සපයා ගනු ලබයි. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 715ක් වැය කරමින් මඩකළපුව, රත්නපුර, බදුල්ල සහ ගාල්ල රෝහල් සඳහා යන්ත්‍ර 4ක් ස්ථාපිත කෙරේ. ආසියානු සංවර්ධන බැංකුව (ADB) මගින් ක්‍රියාත්මක ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 1188ක් වැය කරමින් කොළඹ ජාතික රෝහලට යන්ත්‍ර 3ක් ද, මහනුවර, යාපනය සහ කලුබෝවිල රෝහල්වලට එක් යන්ත්‍රය බැගින් ද ලබාදීමට නියමිතය. මීට අමතරව ජයිකා (JICA) ආධාර යටතේ රුපියල් මිලියන 1200ක වියදමින් අනුරාධපුර, කුරුණෑගල, බදුල්ල, මහනුවර සහ ත්‍රිකුණාමලය රෝහල්වලට අවශ්‍ය යන්ත්‍ර 6ක් සැපයෙනු ඇත.
හෘද කැතීටකරණ යන්ත්‍ර යනු ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණ සිදු කිරීම, හෘදයේ අවහිරතා ඉවත් කර ස්ටෙන්ට් (Stent) ස්ථාපිත කිරීම සහ පේස්මේකර් බද්ධ කිරීම වැනි අත්‍යවශ්‍ය ප්‍රතිකාර සඳහා භාවිත කරන අතිනවීන තාක්ෂණයකි. මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ හෘද රෝගීන් සඳහා පවතින දිගු පොරොත්තු ලේඛන අවම කිරීම සහ රජයේ රෝහල් පද්ධතිය තුළ පැය 24 පුරා ගුණාත්මක හෘද ප්‍රතිකාර සේවාවක් සහතික කිරීමයි. මෙමගින් හෘද රෝග හේතුවෙන් සිදුවන මරණ සහ සංකූලතා සැලකිය යුතු ලෙස අවම කර ගැනීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කරයි.