සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් වෙසෙන ආණමඩුව වැනි බහුසංස්කෘතික ප්‍රදේශයක ජාතීන් අතර සහයෝගීතාව තහවුරු කිරීමට පරිණත ආගමික නායකත්වයක මඟපෙන්වීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ බව සඳහන් කළේ ආණමඩුවේ ධර්මකීර්ති ශ්‍රී පඤ්ඤානන්ද නායක ස්වාමීන් වහන්සේ වෙත රාජවන්නි සහ කුමාරවන්නි දෙපළාතේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීම වෙනුවෙන් අද (13) පැවැති උත්සවය අමතමිනි.

මල්වතු විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආණමඩුව සුදම්පායේදී මෙම උත්සවය පැවැත්විණි. එහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් අදාළ පදවියට අදාළ සන්නස් පත්‍රය පිළිගැන්වූ අතර, විජිනිපත පිළිගැන්වීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සිදු කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ, වසර 50කට අධික පැවිදි දිවියක් සහ 35 වසරක ගුරු සේවයක් සපුරා ඇති පඤ්ඤානන්ද නාහිමියන් බුද්ධ ශාසනයට මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයට ද සුවිශේෂී මෙහෙවරක් ඉටු කර ඇති බවයි. විශේෂයෙන්ම පසුගිය වසරේ ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීමේදී උන්වහන්සේ දැක්වූ මානුෂීය නායකත්වය සමස්ත ප්‍රදේශයටම ආදර්ශයක් වූ බව ඇය කෘතවේදීව සිහිපත් කළාය.

ඓතිහාසික පරමාකන්ද රජමහා විහාරය ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සුරැකීමට උන්වහන්සේ ගන්නා උත්සාහය අගය කළ අග්‍රාමාත්‍යවරිය, සහකම්පනයෙන් පිරි ජනතාවක් සිටින ‘නව පුනරුද යුගයක්’ කරා රට මෙහෙයවීමේදී මෙවැනි ප්‍රායෝගික ආගමික නායකයන්ගේ සහාය රජයට අතිශය වැදගත් බව ද අවධාරණය කළාය.

මෙම අවස්ථාවට ත්‍රෛනිකායික මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකවරුන්, වයඹ පළාත් ආණ්ඩුකාරවරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබයරත්න, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මෙන්ම මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.