තාක්ෂණික දියුණුව වේගවත් වන වත්මන් යුගය තුළ මාධ්‍ය නියාමනය සිදු කිරීම රජයට වඩා මාධ්‍යවේදීන් සතු වගකීමක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පෙන්වා දෙයි. ඔහු මේ බව අවධාරණය කළේ මාලදිවයිනේ මාලේ නුවර පැවැත්වෙන 21 වන ආසියානු මාධ්‍ය සමුළුවේ ඉහළ පෙළේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවට එක්වෙමිනි.

මහජන සුබසිද්ධිය වෙනුවෙන් කැපවුණු, අනාගත අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි ශක්තිමත් මාධ්‍ය පද්ධතියක් ගොඩනැගීමට ශ්‍රී ලංකාව නිරන්තරයෙන් කැපවන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. රටවල් ගණනාවක නියෝජිතයන් සහභාගී වන මෙම සමුළුව හෙට (14) දිනෙන් අවසන් වීමට නියමිතය.

රජයක් මගින් පනවනු ලබන දැඩි නීති රීතිවලින් මාධ්‍ය පාලනය කිරීමට වඩා මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සක්‍රිය මැදිහත්වීමෙන් සිදුවන ‘ස්වයං නියාමනය’ (Self-regulation) වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම සාර්ථක ක්‍රමවේදය බව ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නවීන තාක්ෂණයන් දෙස බියෙන් බැලීම පසෙකලා, වගකීම් සහගත ලෙස ඒවා වැළඳගැනීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ නව ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද විදෙස් ප්‍රජාව දැනුවත් කළ නලින්ද ජයතිස්ස, එහි ප්‍රධාන අරමුණු තුනක් ඇති බව පැහැදිලි කළේය. මාධ්‍ය නිදහස තහවුරු කිරීම, ඩිජිටල් යුගය තුළ පුද්ගල පෞද්ගලිකත්වය සහ ගෞරවය ආරක්ෂා කිරීම සහ මාධ්‍යවේදීන් සඳහා වෘත්තීයමය වරලත් ආයතනයක් පිහිටුවීම එම ප්‍රතිපත්තියේ මූලික කුලුනු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.