රාජ්‍ය නිලධාරීන් තුළ අනවශ්‍ය බියක් ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බවත්, නීතියේ රාමුව තුළ සිය රාජකාරි ඉටු කරන කිසිදු නිලධාරියෙකු කිසිවෙකුට බිය විය යුතු නැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. ඔහු මේ බව සඳහන් කළේ අද (12) පෙරවරුවේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති මාතලේ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.
දේශපාලන අධිකාරිය, ධනය හෝ බලය මත නීතිය ක්‍රියාත්මක නොවන අතීත සංස්කෘතිය වෙනස් කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ජනාධිපතිගේ සිට ග්‍රාම නිලධාරීවරයා දක්වා සියලු දෙනා නීතියට යටත් විය යුතු බවත් නීතියට බිය විය යුතු බවත් පෙන්වා දුන්නේය. “අක්‍රමිකතාවල යෙදෙන්න බය වෙන්න. නමුත් නීත්‍යානුකූලව වැඩ කිරීමට බය වෙන්න එපා. යම් නිලධාරියෙකුට දැනට පවතින නීති රෙගුලාසි බාධාවක් වන්නේ නම් අපට කියන්න, අවශ්‍ය පරිදි ඒවා සංශෝධනය කිරීමට අප සූදානම්,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
විමර්ශන කටයුතුවලදී ප්‍රකාශ ලබා ගැනීම සම්බන්ධයෙන් සමාජය තුළ මතු කරන මතවාදය පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී සිය අදහස් පළ කළේය. ඕනෑම පරීක්ෂණයකදී නමක් සඳහන් වූ විට එම පුද්ගලයාගෙන් ප්‍රකාශයක් හෝ කටඋත්තරයක් ලබා ගැනීම සාමාන්‍ය නීතිමය ක්‍රියාවලියක් බවත්, එය මහා ව්‍යසනයක් ලෙස පෙන්වීමට දරන උත්සාහය පදනම් විරහිත බවත් ඔහු කියා සිටියේය. “මගේ නම සඳහන් වුවහොත් මගෙන් ද කටඋත්තරයක් ගත යුතුයි. අපි කිසිවෙක් නීතියට උඩින් නැහැ,” යනුවෙන් ඔහු අවධාරණය කළේය.
එමෙන්ම ‘දිට්වා’ ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය ගෙන ඇති මූල්‍ය පියවර පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී හෙළිදරව් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාව අනුව රජයේ වාර්ෂික වියදම් සීමාව දළ ජාතික නිෂ්පාදිතයෙන් 13%ක් ලෙස නියම කර තිබුණ ද, ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන මූල්‍ය කළමනාකරණ පනතේ ප්‍රතිපාදන මත එම සීමාව 14.3% දක්වා ඉහළ නැංවීමට තීරණය කර ඇත. ඒ අනුව ආපදා සහන සහ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් තවත් රුපියල් බිලියන 500ක (දළ ජාතික නිෂ්පාදිතයෙන් අතිරේක 1.3%ක්) මුදලක් වියදම් කිරීමට එකඟතාව පළ වී තිබේ.