ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, සංචාරක, ආරක්ෂක, ආගමික, ආර්ථික සහ තාක්ෂණික ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව වෙනුවෙන් අවබෝධතා ගිවිසුම් 05ක් අත්සන් කිරීම අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. මෙම අවස්ථාව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ වියට්නාම් ජනාධිපති මෙන්ම වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) ඉදිරියේ පැවැත්විණි.
දෙරට අතර හුවමාරු වූ අවබෝධතා ගිවිසුම් පහත පරිදි වේ:
- පොලිස් පුහුණුව හා විද්‍යාත්මක පර්යේෂණ: වියට්නාමයේ මහජන පොලිස් ඇකඩමිය සහ ශ්‍රී ලංකා ජාතික පොලිස් ඇකඩමිය අතර සහයෝගීතාව සඳහා වන ගිවිසුම වියට්නාම් මහජන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් ලුඕන්ග් ටැම් ක්වාන්ග් සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල විසින් හුවමාරු කර ගනු ලැබීය.
- විද්‍යා හා තාක්ෂණ සහයෝගීතාව: ශ්‍රී ලංකා සහ වියට්නාම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ අතර ඇති කරගත් ගිවිසුමට වියට්නාම් අමාත්‍ය වූ හායි ක්වාන් සහ මෙරට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන අත්සන් තැබූහ.
- ආගමික සහ සංස්කෘතික සබඳතා: දෙරටේ ආගමික කටයුතු අමාත්‍යාංශ අතර සහයෝගීතාව වෙනුවෙන් වියට්නාම් අමාත්‍ය ගුයෙන් ඩින් කාන්ග් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ගිවිසුම් හුවමාරු කර ගත්හ.
- සංස්කෘතික සහයෝගීතාව: වියට්නාමයේ සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අතර ඇති කරගත් තවත් ගිවිසුමකට වියට්නාම් නියෝජ්‍ය අමාත්‍ය හෝ අන් ෆොන්ග් සහ ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි අත්සන් තැබූහ.
- තොරතුරු සහ සන්නිවේදනය: තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා වන ගිවිසුම වියට්නාම් නියෝජ්‍ය අමාත්‍ය හෝ අන් ෆොන්ග් සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා අරියරත්න විසින් හුවමාරු කර ගනු ලැබීය.
මීට අමතරව, වියට්නාම් රජය විසින් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරන ලද මෙට්‍රික් ටොන් 100ක පොහොර තොගය වියට්නාම් මුදල් අමාත්‍ය එන්ගෝ වැන් ටුවාන් සහ ‘වියට්නාම් නැෂනල් කෙමිකල් ගෲප්’ හි ප්‍රධාන අධ්‍යක්ෂ නුයෙන් හූ තූ විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ වෙත නිල වශයෙන් ප්‍රදානය කරන ලදී.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 55ක් පිරීම නිමිත්තෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක කළ ආරාධනයකට අනුව වියට්නාම් ජනාධිපතිවරයාගේ මෙම රාජ්‍ය සංචාරය සිදු වේ. මෙම අවස්ථාවට වියට්නාම් රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ඇතුළු ප්‍රමුඛ දේශපාලන නායකයින් පිරිසක් ද එක්ව සිටියහ.