වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතමින් සිදුකළ ප්‍රකාශය මෙරට ආර්ථිකයේ සහ ජන ජීවිතයේ නව පරිවර්තනයකට මග පාදන සුවිශේෂී අවස්ථාවක් බවට පත් වේ. වියට්නාමයේ සාර්ථකත්වයේ රහස මෙරටට ලබාදීමටත්, ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාවට සෘජු දායකත්වය සැපයීමටත් ඔහු මෙහිදී එකඟතාව පළ කළේය.
ඩොලර් බිලියනයක වෙළඳ වෙළඳපොළක්
ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ට සහ අපනයනකරුවන්ට ඉතා වැදගත් පණිවුඩයක් ලබා දෙමින් ටෝ ලාම් සඳහන් කළේ, නුදුරු අනාගතයේදී දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බවයි. මෙය මෙරට නිෂ්පාදන සඳහා වියට්නාමය තුළ දැවැන්ත වෙළඳපොළක් නිර්මාණය කිරීමට ලැබෙන රන්මය අවස්ථාවකි.
කෘෂිකර්මයෙන් ආහාර සුරක්ෂිතතාවයට වියට්නාම අත්දැකීම්
අතීතයේ ආහාර හිඟයකින් පීඩා විඳි වියට්නාමය අද ලොව ප්‍රමුඛතම සහල් අපනයනකරුවෙකු වී ඇත්තේ “ඩොයි මෝයි” (Doi Moi) නැමැති නවීකරණ වැඩපිළිවෙළ හරහාය. මෙම සාර්ථක අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට ජනාධිපතිවරයා පොරොන්දු විය. “අපේ අත්දැකීම් අනුව ගොවීන්ගේ ජීවනෝපාය සහතික කිරීම, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය සහ කෘෂිකාර්මික නිෂ්පාදන පිරිසැකසුම් ප්‍රවර්ධනය තිරසාර සංවර්ධනයට අතිශය වැදගත්” බව ඔහු අවධාරණය කළේය. මෙය මෙරට ගොවි ජනතාවට නව තාක්ෂණය සහ ක්‍රමවේද ලබාගැනීමට ලැබෙන විශාල අත්වැලකි.
ඩිජිටල් තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI)
වර්තමාන ලෝකයේ නව ප්‍රවණතාවන් වන ඩිජිටල් පරිවර්තනය, ඊ-වාණිජ්‍යය සහ කෘතිම බුද්ධිය (AI) වැනි ක්ෂේත්‍රයන්හි වියට්නාමය සතු ඉහළ දැනුම ශ්‍රී ලංකාවට ලබාදීමට ටෝ ලාම් එකඟ විය. විශේෂයෙන්ම තරුණ පරපුරට මෙම තාක්ෂණික ක්ෂේත්‍රයන්හි නව රැකියා අවස්ථා සහ පුහුණුව ලබාගැනීමට මෙමඟින් මග පෑදෙනු ඇත.
සෘජු ගුවන් ගමන් සහ සංචාරක ප්‍රවර්ධනය
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට නව පණක් ලබාදෙමින්, දෙරට අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමේ වැදගත්කම ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ‘වියට්නාම සංස්කෘතික සති’ සහ වියට්නාමය තුළ ‘ශ්‍රී ලාංකික සංස්කෘතික සති’ සංවිධානය කිරීම හරහා ජනතාව අතර සබඳතා සහ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට හැකි බව ඔහු ප්‍රකාශ කළේය.
අධ්‍යාපන සහ සංස්කෘතික ශිෂ්‍යත්ව
ශ්‍රී ලාංකික සිසුන්ට සහ පර්යේෂකයින්ට වියට්නාමය තුළ අධ්‍යාපන සහ පුහුණු අවස්ථා පුළුල් කිරීමට ජනාධිපතිවරයා යෝජනා කළේය. පුරාවිද්‍යාව සහ සංස්කෘතික උරුමයන් සංරක්ෂණය පිළිබඳව වියට්නාමය සතු අත්දැකීම් මෙරටට ලබාදීමටද ඔහු කැමැත්ත පළ කළේය.
ජනතාව කේන්ද්‍ර කරගත් සංවර්ධනය
ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට වැදගත් පාඩමක් කියා දෙමින් ටෝ ලාම් මෙසේ පැවසීය: “සංවර්ධනය යනු හුදෙක් සංඛ්‍යාලේඛන නොවේ. එය ජනතාවට වඩාත් හොඳ ජීවිතයක් තිබීම, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලැබීම සහ ජනතාවට සුරක්ෂිතභාවය දැනීමයි.” ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සියලු සංවර්ධන ව්‍යාපෘතිවල අවසන් ප්‍රතිලාභියා ජනතාව විය යුතු බවත්, ඒ සඳහා වියට්නාමය නිරන්තරයෙන් සහය වන බවත් ඔහු සහතික කළේය.
මෙම දේශනය හරහා වියට්නාමය හුදෙක් මිත්‍ර රාජ්‍යයක් ලෙස පමණක් නොව, ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජීය අභියෝග ජය ගැනීමට සැබෑ අත්වැලක් සපයන ශක්තිමත් හවුල්කරුවෙකු ලෙස ඉදිරිපත් විය.
සටහන | LankaRedNews