ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක දැවැන්ත අල්ලස් දූෂණයේ ප්‍රධාන සැකකරුවෙකු මෙන්ම සාක්ෂිකරුවෙකු ද වූ එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අබිරහස් ලෙස මියගොස් තිබේ. ඔහුගේ සිරුර කොල්ලුපිටියේ පිහිටි නිවසක තිබියදී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළේය.

මෙම මරණය සිදුවන්නේ අතිශය තීරණාත්මක දේශපාලන පසුබිමක වීම විශේෂත්වයකි. “අපි කිසිම පරීක්ෂණයකට බය නැහැ” යනුවෙන් මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ විසින් මීට සතියකට පෙර ප්‍රකාශ කර තිබූ පසුබිමක, මෙම මරණය සිදුවීම විචාරකයින්ගේ දැඩි සැකයට බඳුන් වී තිබේ.

එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් තමන් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබා දුන් බව කපිල චන්ද්‍රසේන විසින් මීට පෙර අල්ලස් කොමිසමට පාපොච්චාරණය කර තිබුණි. 2015 වසරේදී මහින්ද රාජපක්ෂ කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 20 බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන 60ක මුදලක් බෙලිඅත්ත සහ කාල්ටන් නිවෙස්වලදී ඔහුට පෞද්ගලිකව ලබා දුන් බව සැකකරු පවසා තිබූ බව අල්ලස් කොමිසම මාර්තු 19 වැනිදා අධිකරණයට දැනුම් දුන්නේය. මීට අමතරව අදාළ මුදල් හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ශමින්ද්‍ර රාජපක්ෂගේ ගිණුමට ද යොමුවී ඇති බවට විමර්ශනවලදී හෙළි විය.

කපිල චන්ද්‍රසේන ලබා දුන් මෙම තීරණාත්මක සාක්ෂි මත පදනම්ව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් එළඹෙන 12 වැනිදා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව තිබිණි. එවැනි පසුබිමක, මුදලට ගත් ඇපකරුවන් ඉදිරිපත් කර ඇප කොන්දේසි උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ඔහුව යළි අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ (07) අධිකරණ නියෝගයක් ද නිකුත් විය.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු මෙන්ම චිකාගෝ සහ මෙල්බෝන් විශ්වවිද්‍යාලවලින් උසස් ඉංජිනේරු අධ්‍යාපනය ලැබූ කපිල චන්ද්‍රසේනගේ මරණයත් සමඟ මෙරට ප්‍රධානතම දූෂණ නඩුවක තීරණාත්මක සාක්ෂි වැළලී යාමේ අවදානමක් මතුව තිබේ. කොල්ලුපිටිය පොලිසිය මෙම අබිරහස් මරණය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.