1983 කළු ජූලි ඛේදනීය සිදුවීම හා එහි බලපෑම පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් සිදු කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා අද (03) පෙරවරුවේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදී, විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට බාධා කරමින් සභාව තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති කළහ.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තණුර දිසානායක විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එම පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රී භාග්‍ය ශ්‍රී හේරත් විසින් එය ස්ථිර කරන ලදී.
කළු ජූලි සිදුවීම පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් කර වාර්තා කිරීම, ජාතික සහජීවනය තහවුරු කිරීම සහ පීඩාවට පත් පිරිස වෙත සහන සැලසීම සම්බන්ධයෙන් වන සිය යෝජනා හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මෙම විශේෂ කාරක සභාව පිහිටුවීමේ අපේක්ෂාව වේ.
කෙසේ වෙතත්, එම යෝජනාව ඉදිරිපත් කිරීමට බාධා කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් වරප්‍රසාද ප්‍රශ්න සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාව මුල් කරගනිමින් දිගින් දිගටම විරෝධය පළ කරමින් බාධා එල්ල කළහ.
එම බාධා කිරීම් සහ සභාව තුළ ඇති වූ ඝෝෂාකාරී තත්ත්වය මධ්‍යයේ වුව ද පාර්ලිමේන්තුවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබීය.