දුරගමන් සේවා බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ පහසුව උදෙසා මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ කලින් ආසන වෙන්කර ගැනීමේ නව පහසුකමක් හඳුන්වා දුන් බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි. බත්තරමුල්ලේ පිහිටි “මගනැගුම මහමැදුර” පරිශ්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජනතාවගේ දෛනික ප්‍රවාහන අවශ්‍යතා වඩාත් කාර්යක්ෂමව සහ පහසුවෙන් ඉටු කිරීම රජයේ ප්‍රමුඛතම අරමුණක් බව මෙහිදී අවධාරණය කෙරිණි. නියමු ව්‍යාපෘතියක් ලෙස පෞද්ගලික බස් රථ සඳහා ආරම්භ කරන ලද මෙම නව පද්ධතිය මගින් මගීන්ට බස් රථ ධාවනය වන වේලාවන් කලින්ම නිවැරදිව දැනගත හැකිය. ඒ ඔස්සේ මගීන්ට සිදුවන අනවශ්‍ය රස්තියාදුව මෙන්ම, වෙන් කළ ආසන අහිමි වීම, හදිසි ගමන් වාර අවලංගු වීම සහ අධික සේවා ගාස්තු වැනි ගැටලු රැසකට ස්ථිර විසඳුම් ලැබෙනු ඇත.

විශේෂයෙන්ම මීට පෙර ආසන වෙන් කිරීමේදී රුපියල් 200 සිට 300 දක්වා වූ ඉහළ සේවා ගාස්තුවක් මගීන්ගෙන් අය කළ නමුත්, රජය හඳුන්වා දුන් මෙම නව ක්‍රමවේදය යටතේ එක් ආසනයක් වෙන් කර ගැනීම සඳහා ගෙවිය යුත්තේ රුපියල් 30 ක වැනි ඉතා සුළු මුදලක් පමණක් බව ද බිමල් රත්නායක වැඩිදුරටත් කියා සිටියේය.