තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාප්කෝ ඇතුළු නියෝජිත පිරිස අද (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ එම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය. සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැති මෙම හමුවේදී මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරීම සහ කෘතිම බුද්ධිය (AI) වැනි නවීන තාක්ෂණය සෞඛ්‍ය ක්ෂේත්‍රයට අනුගත කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය.

රුසියාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සාර්ථක කර ගැනීම සඳහා AI තාක්ෂණය යොදා ගන්නා ආකාරය පිළිබඳව මෙහිදී මිහායිල් මුරාප්කෝ විසින් පැහැදිලි කරන ලදී. විශේෂයෙන්ම කෘෂිකාර්මික හා නාගරික ප්‍රදේශවල රෝග 42ක් කඩිනමින් හඳුනාගත හැකි AI තාක්ෂණය සහිත නවීන උපකරණ පද්ධතියක් පිළිබඳව ද ලාංකික බලධාරීන් දැනුවත් කෙරිණි. ඉදිරියේදී මෙරට සෞඛ්‍ය පද්ධතිය දියුණු කිරීමටත්, ලාංකික ජනතාව වෙනුවෙන් මිත්‍රශීලී සහයෝගීතාව ඉහළ නැංවීමටත් රුසියාව සූදානම් බව ඔහු අවධාරණය කළේය.

රුසියානු සෞඛ්‍ය සේවා පද්ධතිය සහ නවීන ප්‍රතිකාර ක්‍රම පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා අමාත්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු නිලධාරීන්ට රුසියාවේ නිල සංචාරයක නිරත වන ලෙස ද මෙහිදී ඇරයුම් ලැබිණි. මීට අමතරව, මෙරට පවතින බලශක්ති ගැටලුවලට සහාය වීම, ඖෂධ නිෂ්පාදනය සහ සැපයුම් ජාලය ශක්තිමත් කිරීම මෙන්ම ලාංකික වෛද්‍යවරුන්ට රුසියාවේදී වැඩිදුර වෛද්‍ය අධ්‍යාපනය ලබාදීමට ද රුසියානු අමාත්‍යවරයා එකඟතාව පළ කළේය. ඉදිරියේදී දෙරටේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම හරහා මෙම සම්බන්ධීකරණය වඩාත් ශක්තිමත් කිරීමට ද තීරණය විය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරෙයාන්, අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.